2019 මාර්තු 16 වන සෙනසුරාදා

නවසීලන්ත වෙඩි තැබීමෙන් ටෙස්ට් තරගය අවලංගු වෙයි !

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

20 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි
49 දෙනෙක් මියයති

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල්නූර් හා ලින්වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇත. ඒ බව එරට අග්‍රාමාත්‍යවරයා තහවුරැ කර තිබේ. තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළය.

මෙලෙස මියගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේවමෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසකි. අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීම වාර්තා වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට අනතුරු අඟවා ඇත. නවසීලන්ත පොලීසිය පැවසුවේ, හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට තිබේ. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. මේ සිද්ධිය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ.

ගිනිඅවි කිහිපයකින් සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලුදෙනා ඉලක්ක කර වෙඩි තබන අයුරු දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමෙන් අනතුරුව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සියලු මුස්ලිම් දේවස්ථාන තාවකාලිකව වසා දමන ලෙස එරට බලධාරීහු නියෝග කළහ. වෙඩි තැබීම වාර්තාවීම හමුවේ ක්‍රයිස්චර්ච්හි සියලු පාසල් වසාදමා ඇති අතර, ගුවන්තොටුපොළ ඇතුළු නගරයේ ආරක්ෂාව තර කර ඇත.