2019 මාර්තු 16 වන සෙනසුරාදා

ස්ටීවන් හෝකින්ගේ මාරයා හෙදියද?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 282

යුගයේ මහා විද්වතා ස්ටීවන් හෝකින් මිය ගියේ ඔහුගේ  හෙදියගේ නොසැලකිල්ල නිසාදයන සැකය දැන්  පහළ වි තිබේ. විසි එක්වන සියවසේ ලොව බිහිවූ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින් හට සිය නිසි වෘත්තීය සැලකිල්ල ලබා නොදුන් බව ඇතුළු චෝදනා ගණනාවක් මත ඔහුගේ හෙදියගේ වැඩ තහනම් කර තිබේ.

ස්ටීවන් හෝකින් යන එන හැමතැනම ඔහුගේ මේ හෙදියද දැකගත හැකි විය. ඇගේ නම පැට්‍රිෂියා ඩාවිඩ්ය. ඇයට විරුද්ධව ස්ටීවන් හෝකින් මහා විද්‍යාඥයාගේ පවුලේ අය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සංවෘත අධිකරණයක් විසින් අසා නිමකළ අතර එහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇගේ හෙද බලපත්‍රය අහෝසි කිරීමට Nursing and Midwifery Council තීරණය කර ඇත.

අට අවුරුද්දක් තිස්සේ මහා විද්‍යාඥයා අසලින්ම සිටියේ ඇයයි. වයස අවුරුදු 21 දී චාලක නියුරෝන රෝගය හේතුවෙන් රෝද පුටුවට සීමා වී තිබූ ඔහුගේ ජීවිතයට අවශ්‍ය සැලකිල්ල, සාත්තුව ඇය අතින් නොමඳව ලැබෙන බවට පූර්ව සහ පූර්ණ විශ්වාසයක් පවුලේ අයට තිබිණි. නමුත් නව අධිකරණ පරීක්ෂණයට අනුව ඇය මහාචාර්ය ස්ටීවන් හෝකින්ට හිමිවිය යුතු ඔහු වෙත ලබාදිය යුතුව තිබූ වෘත්තීය සැලකිල්ල නිසිලෙස ලබාදී නැති අතර, මූල්‍ය වංචා පිළිබඳවද ඇයට චෝදනා එල්ල වී තිබේ. ඇය තමන්ගේ වෘත්තියේ යෙදීමට නුසුදුසු අයෙකු බවට අවසාන වශයෙන් තීන්දු වී තිබෙන්නේ එසේය.

1999 වසරේ පටන් 2004 දක්වා ස්ටීවන් හෝකින්ගේ හෙදිය ලෙස සේවය කළේ ඇයයි. පසුව 2013 ජූලි මාසයේ පටන් 2016 මාර්තු 3 වැනිදා දක්වාද ඔහු අසලින්ම සිටියේ ඇයයි. අනතුරුව 2016 වසරේදී ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන්නේ, ස්ටීවන් හෝකින්ගේ පවුලේ අය ඇගේ සාත්තුව පිළිබඳ සැක පළකරන්නට පටන් ගැනීමත් සමගය. 2018 මාර්තු මාසයේදී ස්ටීවන් හෝකින් මහා විද්‍යාඥයා මියයන විට 76 හැවිරිදිව පසුවිය.