2019 මාර්තු 09 වන සෙනසුරාදා

අමෙරිකාවේ මුල්පුටුවට හිලරි සටන අත්හරියි!

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 213

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම් කෙරුණු පළමු කාන්තාව වූයේ, හිලරි ක්ලින්ටන්ය. 2016 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ පරාජයට පත් වුවද, එරට මෙන්ම ලොව බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ, එදා හිලරි ක්ලින්ටන් එරට පළමු ජනාධිපතිවරිය වනු ඇතැයි කියාය. ඒ අපේක්ෂාව බිඳ වැටුණු පසු ඇය නැවත 2020 ජනපති සටනින් ජයගනු ඇති බවට බලාපොරොත්තුවක් පැතිර තිබුණි. දැන් ඒ බලාපොරොත්තුවද බිඳවැටී හමාරය. 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ නියේජිතයා තෝරාගන්නා මූලික සටනින් හිලරි ක්ලින්ටන් ඉවත්වීමත් සමඟය. ඒ අනුව දෙවෙනි ධුර කාලයක් සඳහා මාන බලන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවතත් වාසිදායක තත්ත්වයක් උදා වී තිබේ. 

ඇය 2016 ජනාධිපතිවරණය ජයගනු ඇති බවට විශ්වාසයක් පළ වී තිබුණද, ධනවතුන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා කටයුතු කළ බවට චෝදනා එල්ල වූ අතර තරුණ ඡන්දදායකයින්ගේ විශ්වාසය දිනා ගැනීමටද ඇය සමත් නොවීය. ඒ අනුව ඇමරිකාවේ ජනාධිපති පදවිය සඳහා තරග වදින පළමු කාන්තාව වීමේ ඓතිහාසික අවස්ථාව හිලරි ක්ලින්ටන් උදාකරගත් නමුදු ඇමරිකාවේ ජනාධිපති පදවිය දිනාගත් පළමු කාන්තාව වීමේ ඓතිහාසික අවස්ථාව හිලරි ක්ලින්ටන් වෙතින් ගිලිහී ගියේය.

ඇයගේ එම පරාජයත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සුදුස්සෙකු සෙවීම දිගටම සිදු වූ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා 38 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. ඒ අතර, ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස්ද වේ.

එරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද හිලරි හඳුන්වා දෙන්නෙ අමෙරිකාවේ සුපිරි ගැහැනිය නැතිනම් වොන්ඩර් වුමන් හැටියටය. 1993 ජනවාරි මස බිල් ක්ලින්ටන් ජනාධිපති නතතුරේ වැඩ භාරගත් විට හිලරි රොඩ්හැම් ක්ලින්ටන් එක්සත් ජනපදයේ පළමු කාන්තාව බවට පත් වූවාය. ඇය පශ්චාත් උපාධියක් ලැබූ පළමුවැනි පළමු කාන්තාවද (First Lady), ධවල මන්දිරයට පැමිණෙන විටත් වෘත්තීයමය ජීවිතයක් ගතකළ එම පදවියට පත් පළමු තැනැත්තියද වූවාය. එසේම ධවල මන්දිරයේ බටහිර කොටසේ කාර්යාලයක් පවත්වා ගෙන යාමට වරම් ලැබූ පළමු තැනැත්තියද වූවාය.

සාමාන්‍යයෙන් ජනාධිපති බිරිඳගේ කටයුතු තිබෙන්නේ ධවල මන්දිරයේ නැගෙනහිර පැත්තේය. එලිනොර් රූස්වෙල්ට් ජනාධිපති ආර්යාව හැරුණු විට අමෙරිකානු ඉතිහාසය තුළ වඩාත්ම බලගතු ජනාධිපති බිරිඳ ලෙස සැලකුණේ ඇයයි.