2019 මාර්තු 09 වන සෙනසුරාදා

වෙනිසුවෙලාවේ ජර්මනියත් තහනම්!

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

වෙනිසුවෙලාවේ විපක්ෂනායක ජුවාන් ගුවයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ජර්මනිය පිළිගැනීමත් සමඟ දෙරටේ සබඳතා පළුදු කිරීමට එය හේතුවක් විය. අමෙරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂනායක ජුවාම් ගුවයිඩෝ පිළිගැනීමත් සමඟ වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය ඉහළ ගියේය. තමන් බලයෙන් පහකිරීමට අමෙරිකාව සහ ලොව සෙසු රටවල් ආර්ථික යුද්ධයක් අරඹා ඇතැයි නිකලස් මධුරෝ චෝදනා කළේය.

එරට ජනාධිපති මධුරෝ පාලනයෙන් ඉවත්කර වෙනිසුවෙලාවේ පාලන බලය විපක්ෂයට ලබාදීමට ඉහත රටවල් ප්‍රයත්න දරන පසුබිම තුළ මෙම රාජ්‍යයන් අතර  විරසකය දැඩි විය. කෙසේ වෙතත් රුසියාව, චීනය සහ තුර්කිය සහය පළ කළේ මධුරෝ රජයටයි. ජනාධිපති මධුරෝ තමන්ට වළ කපන්නට කටයුතු කළ රාජ්‍ය සමඟ කෙළින්ම සටන ඇරඹුවේය. එහි අලුත්ම වර්ධනය වූයේ තමන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව කියමින් සිය ජර්මානු තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් පිටුවහල් කිරීමට වෙනිසුවෙලාව කටයුතු කිරීමය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලතින් අමෙරිකානු සංචාරයක නිරත වූ වෙනිසුවෙලා විපක්ෂනායක ජුවාන් ගුවයිඩෝට යළි වෙනිසුවෙලාවට පැමිණීමට උපකාර කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර ඩැනියෙල් ක්‍රීනර්ද සිටින බවයි.

මේ අතර වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධුරෝට සම්බන්ධ පුද්ගලයන් 77 දෙනෙකුගේ වීසා තහනම් කිරීමට පියවර ගන්නා බව අමෙරිකාව ප්‍රකාශ කළේය. අමෙරිකාව, වෙනිසුවෙලා රජයට අයත් ඛනිජ තෙල් සමාගමට එරෙහිව සම්බාධක පනවා තිබේ. අමෙරිකාව වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට එරෙහිව පැනවූ මෙම සම්බාධක, නිකලස් මධුරෝට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍යමය ක්‍රියාමාර්ගය ලෙස සඳහන්ය.

අමෙරිකාවේ මෙම නව සම්බාධක හමුවේ මධුරෝ රජයට වෙනිසුවෙලාවේ වඩාත් වැදගත්ම ආදායම් මාර්ගයක් සහ විදේශ මුදල් මෙන්ම වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 7ක වත්කම් අහිමිව යනු ඇත. කෙසේ වෙතත් මෙම නව සම්බාධක වෙනිසුවෙලා ජනතාවට හෝ එරටට ලබාදෙන මානුෂවාදී ආධාරවලට බලපෑම් නොකරන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අවධාරණය කළේය.

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30