2019 මාර්තු 09 වන සෙනසුරාදා

මහපාරේ අකුණුසරය !

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

මුළුමනින්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව වේගවත්ම මෝටර් රථය පසුගියදා කළඑලි බැස්සේය. එහි වේගය නිසාම මහපාරේ අකුණුසරය නම දැනටමත් හිමිව ඇත. පිනින්ෆරිනා බැටිස්ටා නම් මෙම රථය ඉතාලිය මෙතෙක් නිපදවන ලද වඩාත් ජවසම්පන්නම මෝටර් රථයයි. ෆෙරාරි සහ ලැම්බෝගිනි පරදවා එම ස්ථානය ලබා ගැනීම එම රථය ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙම නවතම මෝටර් රථය මෙතෙක් මහාමාර්ගයේ ධාවනයට නිපදවන ලද වඩාත් ජවසම්පන්නම රථය යැයි සැලකේ. මෙම රථය වඩා වැදගත් වන්නේ, එය අධිබලැතිම මෝටර් රථය වීම හෝ එහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වීම හෝ පමණක් නොවේ. එය මුළුමනින්ම විදුලි බලයෙන් ක්‍රියා කිරීමය. එම රථයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ තත්පර දෙකකට අඩු කාලයකදී වේගය පැයට සැතපුම් 62ක් දක්වා වැඩිකර ගත හැකිවීම සහ තත්පර 12කට අඩු කාලයකදී උපරිම වේගය පැයට සැතපුම් 186ක් දක්වා වැඩිකර ගත හැකි වීමය.

උපරිම වේගය පැයට සැතපුම් 250 ඉක්මවා යා හැකි අතර බැටරිය එක් වරක් ආරෝපණය (charge) කිරීමෙන් පසු මෙම මෝටර් රථයට සැතපුම් 280ක දුර යා හැකිය. මෙම රථය නිර්මාණය කළ සමාගම ආරම්භ කළේද, වසරකට වඩා අඩු කාලයකට ඉහතදීය. කෙටිකාලයක් තුළදී ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් අභිබවා යාමට මෙම සමාගම සමත්වීම නිසාම බොහෝ දෙනාගේ ප්‍රශංසාව සහ කුතුහලය දිනා ගැනීමට නවතම මෝටර් රථය සමත් වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම නවතම නිෂ්පාදනය පසුගියදා ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදී එළිදක්වන ලදී.

මේ අතර ප්‍රංශ මෝටර් රථ සමාගමක් වන බුගාටි ලොව මිල අධිකම මෝටර් රථය එළිදක්වා තිබේ. එය බදුවලින් තොරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක පමණ මිලකට නම හෙළි නොකළ ගැනුම්කරුවෙකුට විකුණා තිබේ. බුගාටි සමාගමේ 110 වන සංවත්සරය වෙනුවෙන් මෙම මිල අධික රථය නිර්මාණය කර ඇත. පොර්ෂ් සමාගමේ නිර්මාතෘවරයාගේ මුණුපුරා වන ෆර්ඩිනැන්ඩ් පියේෂ් එම නව මිල අධිකම මෝටර් රථයේ හිමිකරුවා ලෙස සැලකේ. බුගාටි සමාගම හිමි වොක්ස්වැගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙසද පියේෂ් ක්‍රියා කළේය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00