2019 මාර්තු 02 වන සෙනසුරාදා

ලෝකය බයකළ කාශ්මීර යුද්ධය!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 489

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සති දෙකක කාලයක් තිස්සේ අළු යට ගිනි සේ පුපුරු ගසමින් පැවති අර්බුදකාරී වාතාවරණය හදිසියේම පෙබරවාරි 26 සහ විශේෂයෙන්ම පෙබරවාරි 27 වනදා පුපුරා ගියේ තවත් ලෝක යුද්ධයක භීෂණාත්මක අවදානම මතුකරමිනි. වියරු වැටුණු මේ ආසියානු න්‍යෂ්ඨීක බලවතුන්ගේ ගුවන් බලුපොරය දෙස ලෝකයම බලා සිටියේ තැතිගෙනය. කාශ්මීර දේශසීමා ආසන්නයේ හටගත් අසමාන අහස් සටනින් පාකිස්ථාන භූමියට ඇදවැටුණු ඉන්දීය ගුවන් නිලධරයා අභීනන්දන් වර්ධමාන් සාමයේ දූතයා වන ලකුණු සිකුරාදා වනවිට පහළ වී තිබුණි. අර්බුදය ආරම්භයත් සමඟ ඉම්රාන් ඛාන්, පාකිස්ථානයේ සාමය ලැදි පෙරළිකාර ජනප්‍රිය නායකයා සහ මැතිවරණයක මුවවිට සිය ජනප්‍රියත්වය රැකගැනීමේ සටනක යෙදෙන ඉන්දීය ජනකාන්ත අගමැති මෝදි යන දෙදෙනාම සිය අභිමානය පසෙක තැබීමට සූදානම් බවක් නොපෙනුණි. නමුත් සිකුරාදා වනවිට තමන් අඩියක් පසුපසට ගෙන  සිය භූමියට ඇදවැටුණු ඉන්දීය ගුවන් බළඇණි කපිතාන්වරයා ජාත්‍යන්තර සම්මුතීන් අනුව නැවත ඉන්දියාවට බාරදී යුද්ධය වෙනුවට කලාපයට සාමය උදාකරදීමට ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තමන් ලද ශික්ෂණය සහ  මහත්මා ගුණය ඉස්මතුකරමින් කටයුතු කළේය. මේ තීන්දුව ගැනීම සඳහා ඔහුට ප්‍රමුඛ ලෙස සෞදියේ සහ අමෙරිකාවේ උපදෙස් සහ අත පෙවීමද බලපෑවේය.

දශක පහක පමණ කාලයකට පසු මෙය හදිසියේම අලුත් වටයකින් ගිනි ඇවිලුණු ඉන්දු - පාකිස්ථාන අර්බුදය පසුගිය සතිඅන්තයේ ලෝකයේ ගුවන් ගමන් රැසක්ම අඩපණ කරදැමීය. දකුණු ආසියාකරයේ සිට යුරෝපයට වැටුණු ප්‍රධාන ගුවන් මාර්ගය පාකිස්ථානය මගින් පැනවූ ගුවන් සීමා තහනම හේතුවෙන් අවහිර විය. ඒ අතර ඉන්දීය ගුවන් ප්‍රහාරක යානා මගින් කාශ්මීර පාකිස්ථාන දේශ සීමාවේ ත්‍රස්තවාදී ඉලක්ක සුනුවිසුණු කරමින් එල්ලකළ බවට සනාථ කළ මූලික බෝම්බ ප්‍රහාර හතරම පාළු ගණ කැලෑවකට සහ තිරිඟු යායකට එල්ල වී ඇති බව හෙළිදරව් විය.  

හදිසියේ දෙරට අතර හටගත් මෙම උණුසුම් තත්ත්වයට බලපා ඇත්තේ පෙබරවාරි 14 වනදා ඉන්දීය පැරාමිල්ටරි සෙබළුන් පිරිසකට කාශ්මීරයේ පුල්වාමාහිදී එල්ල වූ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. එයින් සෙබළු 40කට අධික පිරිසක් මියගියහ. ඉන්පසු දෙපාර්ශ්වය අතර යටපත්ව තිබූ පැරැණි මතභේදයන්ට ගිනි ඇවිලිණි. ප්‍රහාරය එල්ල කළ ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත සංවිධානයට පාකිස්ථානය ආධාර කරන්නේය යන ඉන්දියානුවන්ගේ චෝදනාව දෙරට අතර නව අර්බුදයට හේතුව විය.

කාශ්මීර් ප්‍රදේශය ඉන්දියාව සහ පාකිස්ථානය අතර බෙදී තිබේ. එම ප්‍රදේශයෙහි දෙරටෙහි පාලනයට යටත්වන ප්‍රදේශය වෙන්වන්නේ  මධ්‍යස්ථ පාලන ප්‍රදේශ සීමාවක්  මඟිනි. පෙබරවාරි 26 වැනිදා අළුයම 3.30ට පමණ ඉන්දීය ගුවන් යානා කිහිපයක් පාකිස්ථාන පාලන ප්‍රදේශය වෙත ඇතුළු වී යම්කිසි ප්‍රදේශයකට පහර දුන්හ. ඉන්දියාව ප්‍රකාශ කළේ ඔවුන් ඉලක්ක කරගත්තේ ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමේ කඳවුරක් බවයි. ඉන්දීය ගුවන් යානා පැමිණි අවස්ථාවේ පාකිස්ථාන යානාද ගුවන් ගත වූ නමුත් ඉන්දියානුවන් ආපසු හැරී ගිය බව පාකිස්ථානය කීය. මෙහිදී ඉන්දීය ගුවන් යානා තම බෝම්බ වනගත ප්‍රදේශයකට පතිත කළ බව පාකිස්ථානය කීවේය. සිය ඉලක්ක වූයේ ත්‍රස්ත කඳවුරු බවත් ඒවා සාර්ථක වූ බවත් ඉන්දියාව මුලින් කීවේය. 

පෙබරවාරි 27 වනදා ලංකාවේ වේලාවෙන් උදෑසන 11.30ට පමණ ඉන්දීය මාධ්‍යවේදීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් ගුවන් යානයක් කඩාවැටීමක් පිළිබඳ වාර්තා කළහ. ඒ ඔවුන්ගේ ට්විටර් පිටු ඔස්සේය. ඉන් ස්වල්ප වේලාවකට පසුව පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පාකිස්ථාන ගුවන් හමුදාව විසින් ඉන්දීය යානා දෙකක් බිම දැමුණු අතර එකක් පාකිස්ථාන සීමාවට වැටුණ බවත්, එක් නියමුවකු අත්අඩංගුවට ගත් බවත්  කීවේය. ඔහු සඳහන් කළේ පාකිස්ථානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ගුවන්යානා පාකිස්ථාන ගුවන් සීමාව ආක්‍රමණය කළ බවයි.

ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් මුලින් කියා සිටියේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර හේතුවෙන් කිසිදු ඉන්දීය යානයක් කඩා නොවැටුණ බවයි. පාකිස්ථාන ගුවන් යානා තුනක් ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝණය කළ අවස්ථාවේ ඊට තම ගුවන් හමුදාව ප්‍රතිචාර දැක්වූ බවත් ඉන්දියාව කීය. මේ අසමාන සටනට ඉන්දිය ප්‍රහාරක යානා 08ක් සහභාගි වූ අතර කපිතාන් අභීනන්දන් පැදවූ MiG 21 Bison යානයද තිබී ඇත. පාකිස්ථාන යානා 24ක් මේ ගුවන් බලු පොරයට එක්විය. 

සිද්ධියත් සමඟම ඉන්දියාව ශ්‍රී නගර් ගුවන් තොටුපළ පැය තුනක වසා දැමූ අතර පසුව එය ඇතුළු ගුවන් තොටුපළ කිහිපයක් මාස තුනකට වසා දමන බව නිවේදනය කළේය. එහෙත් පැය කිහිපයක් තුළ ඒවා යළි විවෘත කෙරුණි. මේ සිද්ධීන් සමගම ඉන්දියාවේ සහ පාකිස්ථානය විශේෂ රැස්වීම් පැවැත්විණි. ඉන්දියා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක් රැස්වීමක් පැවති අතර එහිදී දේශසීමා ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබාදෙනු ලැබුණි. ඉන්පසුව අගමැති මෝදි සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ රස්වීමක් මෝදිගේ නිල නිවසෙහි පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙබරවාරි 27 වැනිදා සවස තුන වීමට පෙර පාකිස්ථානයේ මාධ්‍ය හරහා අල්ලාගත් නියමුවා බව කියන අයකුගේ දර්ශන ප්‍රදර්ශනය විය. මේ අතර ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය එරට වෙලාවෙන් සවස 3.15ට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. මෙම මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීශ් කුමාර් තම ගුවන් හමුදාවට මිග්-21 යානයක් අහිමි වූ බව පිළිගත් අතර  ඔවුන් පාකිස්ථාන F-16 යානයක්ද බිම දැමූයේ යැයි ප්‍රකාශ කළේය. එමෙන්ම සිය නියමුවකු අතුරුදන් බවද ඔහු පිළිගත්තේ. එතෙක් ඉන්දියාව එවැන්නක් පිළිගෙන තිබුණේ නැත.

වින්ග් කමාන්ඩර් අභීනන්දන් පාකිස්ථානයේදී අල්ලා ගැනීමෙන් පසු ඔහුට පහරදෙන අවස්ථාවක්ද, ඉන්පසු පාකිස්ථාන හමුදා විසින් ඔහුව ප්‍රශ්න කරන අවස්ථාවක්ද වීඩියෝ දර්ශන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. වින්ග් කමාන්ඩර් අභීනන්දන් මේ වනවිට ඉන්දියාවේ ජාතික වීරයකු තත්ත්වයට පත්ව ඇත.

පෙබරවාරි 27 වනදා සවස් යාමයේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් ඉන්දියාවට සාමය සඳහා ඇරයුම් කළා. පාකිස්ථාන ක්‍රියාන්විතය දියත් කළේ අවශ්‍ය නම් තමන්ටද ඉන්දියානුවන් මෙන් ප්‍රහාර කරා යාමේ හැකියාව ඇති බව පෙන්වීමට පමණක් බවයි ඔහු සඳහන් කළේ. යුද්ධයක් ඇති වුවහොත් එය කොයි අතට ඇදෙනු ඇතිද යන්න කලින් කිව නොහැකි බව ඔහු අවධාරණය කළා. ඉන්දීය අගමැති මෝදි ද මෙම සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූවා. ඔහු වඩා දැඩි ස්ථාවරයක් ගත් අතර ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ලෙස ස්ථානෝචිතව කටයුතු කිරීමේ අවසරය ලබාදුන් බවද සඳහන් කළේය. ඉන්දියාව ඕනෑම ආකාරයක ප්‍රතිචාරයකට සූදානම් බව ඒකාබද්ධ හමුදා ප්‍රධානීහු කීහ. ගුවන් නිලධරයා බාරදෙන ලෙස ඉන්දියාව ඉල්ලා තිබුණි. ඉම්රාන් ඛාන් සාමය උදාකරමින් සිය අභිමානය පසෙක ලා නියමුවා බාරදීමට පියවර ගත්තේ ඒ අතරය. පෙබරවාරි 27 සවස වෙද්දී තත්ත්වය මඳක් සන්සුන් විය. මේ අතර ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් පාකිස්ථාන විදේශ ඇමැතිවරයා අමතා ඉන්දු-පාකිස්ථාන සාම සාකච්ඡා සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය නම් ඊට සූදානම් යැයි කියා සිටියේය. අමෙරිකාව සහ සවුදි අරාබියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයද සාමය ඇති කිරීම සඳහා කැපවූහ. කාශ්මීර අර්බුදය දිගුකලක් තිස්සේ ඇදී එන්නකි. 

කාශ්මීරය හේතු කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රථම යුද්ධය ඇරඹෙන්නේ 1947 ඔක්තෝබරයේ එම රටවල් ස්වාධීන රාජ්‍යයන් බවට පත්වී මාස දෙකකට පසුවය. අගෝස්තු 1965දී මෙම අසල්වැසි රටවල් දෙක කාශ්මීරය හේතු කරගෙන නැවතත් යුද්ධ කරති. 

1971 දෙසැම්බර්: නැගෙනහිර පාකිස්තානය ස්වාධීන වීමට ගත් තීරණයට ඉන්දියාව උදව් කළේය. ඉන්දියානු ගුවන් යානා පාකිස්තානයට බෝම්බ හෙලූ අතර අලුතෙන්  බංගලාදේශය නිර්මාණය වීමත් සමග එම යුද්ධය නිම විය. 
1999 මැයි: කාර්කිල් කඳුකරයේ පිහිටි ඉන්දියානු හමුදා මුරපොළවල් කිහිපයක් පාකිස්තානු හමුදා භටයින් විසින් අල්ලා ගනු ලබයි. ඉන්දියාව ගුවනින් සහ බිමින් ප්‍රතිප්‍රහාර එල්ලකර පාකිස්තානු භටයින් පසුබස්සයි.

2001 ඔක්තෝබර්: ඉන්දීය පාලිත කාශ්මීරයේ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් 38 දෙනෙක් මියයති. එම ප්‍රහාරය එල්ලවන්නේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලකර 14 දෙනෙකු ඝාතනය කර මාස දෙකකට පසුය.

2008 නොවැම්බර්:  මුම්බායි හි ප්‍රධාන දුම්රිය නැවතුම්පොළ, සුපිරි හෝටල් සහ යුදෙව් ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් වෙත එකවර ප්‍රහාර එල්ල කර 166 දෙනෙකු ඝාතනය කෙරේ. පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ලෂ්කාර්-ඊ-තෛයිබා සංවිධානයට මේ සම්බන්ධව ඉන්දියාව චෝදනා කළේය. 2016 ජනවාරි පතන්කොට්හි පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරට දින හතරක් පුරා එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය භටයින් හත් දෙනෙකු මියගිය අතර ප්‍රහාරකයින් හය දෙනෙකුද මිය ගියහ.
ඉන්පසු මෑතකාලින සිද්ධීය හට ගත්තේ 2016 සැප්තැම්බර් 18දීය. ඉන්දීය පාලිත කාශ්මීරයේ යුරීහි පිහිටා ඇති ඉන්දීය හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් භටයින් 19 මිය යාමත් සමඟින්. එකට එක කිරීමක් ලෙස 2016 සැප්තැම්බර් 30 පාකිස්තානු පාලිත කාශ්මීරයේ සිටි සටන්කරැවන්ට ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව පැවසීය. පාකිස්තානය එවැනි ප්‍රහාරයක් එල්ල නොවූ බව කීවේය.

ඉන්පසු පසුගිය පෙබරවාරි 14දා කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක හමුදා අනු ඛණ්ඩයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ කාශ්මීර අර්බුදය නැවතත් කරළියට පැමිණියේය.