2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ගාන්ධි ඝාතනය රඟපෑ කාන්තාව අත්අඩංගුවට

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

හින්දු මහ සභා නම් වූ අති දක්ෂිණාංශික හින්දු කණ්ඩායමක් මගින් මහත්මා ගාන්ධි ඝාතනයේ 71 වැනි සංවත්සරය "සැමරීමට" උත්සවයක් සංවිධාන කර තිබිණි. ඒ පිළිබඳ නිකුත්කර තිබු වීඩියෝ දර්ශනවල දැක්වුණේ මහත්මා ගාන්ධි ඝාතනය කළ පුද්ගලයා වූ නතුරාම් ගොඩ්සේගේ සේයාරුවකට මල්දමක් පැළඳවීමෙන් අනතුරුව, එම අති දක්ෂිණාංශික හින්දු සංවිධානයේ පූජා පාන්ඩේ නම්වූ නායිකාව වායු පිස්තෝලයකින් මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තබන අයුරුය. දෙවනුව ඇගේ සැමියා වෙඩි තබන අයුරුද එහි දිස්වේ. ගාන්ධිගේ පින්තුරය පල්ලෙන් රුධිරය බඳු රතු සායම් වැගිරෙන අයුරුද වීඩියෝවේ දක්නට හැකිය.

එම සිද්ධියෙන් පසු ජනවාරි 30දා සිට අතුරුදන්ව සිටි එම නායිකාව දැන් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අදාළ දර්ශනවල දක්නට ලැබුණු ඇගේ සැමියාද මහත්මා ගාන්ධි ඝාතන සමරුව යෙදුණු ජනවාරි 30 වනදා හටගත් මේ සිදුවීමට සම්බන්ධ තවත් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබේ. ඇතැම් දක්ෂිණාංශික හින්දු මතවාදීන් දිගු කලක සිට මහත්මා ගාන්ධි දුටුවේ, පමණ ඉක්මවා මධ්‍යස්ථ මතධාරියකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු ලෙසය. මහත්මා ගාන්ධි පමණ ඉක්මවූ මුස්ලිම් හිතවාදියකු මෙන්ම හින්දූන් පාවාදුන් අයකු ලෙසත් 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය නිර්මාණය කරමින් සිදුවූ දෙකඩවීම හා ලේ වැගිරීමට මුල් වූ පුද්ගලයකු ලෙසත් මෙම දැඩි හින්දු මතධාරීහු චෝදනා කරති.

1948 ජනවාරි 30 වැනිදා මහත්මා ගාන්ධිට, ඉතා සමීපයේ සිට ඔහුගේ පපුවට වෙඩි පහර තුනක් එල්ල කර ඝාතනය කළ ගොඩ්සේ, හින්දු මහ සභා කණ්ඩායමද අයත්වන ජාතිකවාදී දක්ෂිණාංශික කණ්ඩායම්වලට අයත් වූවෙකි. මතභේදාත්මක අතුරු කණ්ඩායමක් විසින් ගොඩ්සේ උත්කර්ෂයට පත්කරමින් මහත්මා ගාන්ධිගේ ඝාතනය සැමරූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 දී ගොඩ්සේගේ පිළිරූ කර්ණාටක ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හයක ස්ථාපනය කිරීමට මෙම කණ්ඩායම උත්සාහ කළ අතර ඊට විරෝධය පා එම ප්‍රාන්තය පුරා විරෝධතා පැතිර ගියේය.

 

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30