2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ට්‍රම්ප් - කිම් ජෝඩුවේ දෙවැනි හමුවත් හරි !

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමා තාප්පය සඳහා අරමුදල් සැපයීමට ඩිමොක්‍රටික් පක්ෂය එකඟ නොවීමෙන් පසු ඇතිවූ ඇමෙරිකා රජයේ කටයුතු බිඳවැටීම නිම කිරීමට එකඟවීමෙන් සති දෙකක් ගතවීමටත් පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතුවේය.

එහිදී තමන් උතුරු කොරියා නායකයා සමඟ මෙම මාසයේදී දෙවැනි හමුව සිදුකරන බව ට්‍රම්ප් කීවේය. විනාඩි 82ක කාලයක් ජාතිය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ තමා කිම් ජොන් අන් මෙම මස 27 සහ 28 දිනවලදී වියට්නාමයේදී හමුවන බවය. පසුගිය වසරේ පැවති ඓතිහාසික ප්‍රථම සාකච්ඡා වටයෙන් අනතුරුව දෙවැනි සාකච්ඡා වටයක් සඳහා පියවර සැකසෙමින් පැවතිණි. පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේ පැවති හමුව බලයේ සිටින ඇමෙරිකා ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියා නායකයකු අතර පැවති ප්‍රථම හමුව විය.

පසුගිය වසරේ ග්‍රීෂ්ම සෘතුවේ සිට මේ දක්වා උතුරු කොරියාව න්‍යෂ්ටික හෝ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් නොකළත්, මෙතෙක් ඔවුන් න්‍යෂ්ටික අවි වැඩසටහන අතහැර දැමීමට එකඟතාව දී නැත. උතුරු කොරියාවේ ඇමෙරිකා තානාපති, ස්ටීවන් බීගන් මේ දිනවල පියොන්යැන් නුවරට ගොස් සිටින්නේ යෝජිත රාජ්‍ය නායක හමුව සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමටය.

එසේම "සුපිරිත්වය තෝරාගැනීම" (Choosing Greatness) යන තේමාව යටතේ ජාතිය අමතා අදහස් දැක්වූ ට්‍රම්ප් නැවත වතාවක් පැවසුවේ තමා මෙක්සිකෝ දේශසීමාවේ යෝජිත පරිදි තාප්පය ගොඩනගන බවය. දේශපාලන එකමුතුකම් වෙනුවෙන් ඉල්ලීමක් කරමින්, ඔහු "විහිළු සහගත වූ ඒකපාර්ශ්වික පරීක්ෂණ" මගින් ඇමෙරිකාවේ වර්ධනයට බාධා ඇතිවන බවද පැවසීය. ඊට ප්‍රතිචාර දැක්වූ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පැවසුවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකානු සාරධර්ම අතහැර දමා තිබෙන බවකි. ඊළඟ සතිය නිමවීමට පෙර වියදම් සැලසුම් සඳහා එකඟ නොවුවහොත් ඇමෙරිකා රාජ්‍ය ආයතන නැවත වැසීයාමට ඉඩ තිබේ.

මේ අතර ලබන සතිය වනවිට සිරියාවේ සහ ඉරාකයේ අයිඑස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකිවනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණි. වොෂින්ටන් නුවරදී අයිඑස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් ඇමතූ ට්‍රම්ප් කීවේ, විදේශික ත්‍රස්තවාදීන්ට අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවයි. සිරියාවෙන් සිය සෙබළුන් ඉවත් කරගන්නා නමුත් අමෙරිකාව අඛණ්ඩව අයිඑස් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝද ප්‍රකාශ කළේය.

මේ අතර අමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පැවසුවේ, තිරසාර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් අයිඑස් ත්‍රස්තවාදීන් යළි නැගී සිටීමේ අවදානමක් ඇති බවයි. අයිඑස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බවත්, අයිඑස් ත්‍රස්ත මර්දන මෙහෙයුමට යෙදවූ අමෙරිකානු සෙබළුන් දින 30ක් තුළ ඉවත් කරගන්නා බවටත් ජනාධිපති ට්‍රම්ප් ඉකුත් දෙසැම්බර් මාසයේදී කළ ප්‍රකාශයෙන්, අයිඑස් ත්‍රස්තවාදීන් මර්දනයට එක්ව සිටින රටවල් විමතියට පත්විය. අයිඑස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානය දැන් රටවල් 80 කින් සමන්විත අතර එය පිහිටවනු ලැබුවේ 2014 වසරේදීය.