2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

අමෙරිකාව සීත කුණාටුවකින් ගල්වෙයි!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

කලාතුරකින් අත්විඳීමට සිදුවන, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන දරුණු ශීත කුණාටු  කාලගුණ තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ මධ්‍යම බටහිර දිග ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මෙම ආක්ටික් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනටමත් එරට ප්‍රාන්ත කිහිපයක පුද්ගලයන් 7 දෙනකු මියගොස් ඇත. මෙම අධික ශීත කාලගුණ තත්ත්වය අමෙරිකානුවන් මිලියන 250 කට බලපෑම් කරනු ඇති අතර ඉන් මිලියන 90ක් සෙල්සියස් අංශක සෘණ 17 ට අඩු උෂ්ණත්වයක් අත්විඳිනු ඇත.

මේ වනවිට අමෙරිකාවේ චිකාගෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 ක් දක්වා ද උතුරු ඩකෝටාහි උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 37 ක් දක්වා ද පහත වැටී ඇති අතර එය ඇන්ටාක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන උෂ්ණත්වයට ද වඩා අඩු උෂ්ණත්වයකි. චිකාගෝහි ගුවන් ගමන් 1500ක් පමණ අවලංගු කර ඇති අතර දුම්රිය ධාවනය ද අඩාල වී ඇත.

ග්‍රේට් ලේක් සහ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශවලට මෙන්ම විස්කොන්සින් සහ ඉලිනොයී ප්‍රාන්ත වෙත දිනපතා හිම පතිත වේ. පවතින තත්ත්වය හමුවේ විස්කොන්සින්, මිචිගන්, ඉලිනොයී මෙන්ම ඇලබාමා සහ මිසිසිපි ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි. මෙය ඓතිහාසික සිදුවීමක් බව අමෙරිකානු කාලගුණ විද්‍යාඥයකු වන රිකී කැස්ත්‍රෝ පවසයි. මධ්‍යම බටහිර ප්‍රදේශයේ ගොවීන් සිය කුකුළන් සහ ගවයන් ඇතුළු සතුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර පීටා සංවිධානය සුරතල් සතුන් නිවෙස් තුළ තබාගන්නා ලෙස ජනතාව දැනුවත් කර ඇත.