2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

වෙනිසියුලාවේ හමුදා අර්බුදයක්!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

තමන් රටේ ජනාධිපතිවරයා යැයි අමෙරිකාවේ හයිය හිතට ගෙන තමන්ම කියාගත් වෙනිසුවෙලා විපක්ෂනායක ජුවාන් ගුවයිඩෝට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ ජුවාන් ගුවයිඩෝගේ බැංකු ගිණුම්වලට ද මුද්‍රා තබමිනි. වෙනිසියුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ සහ ජුවාන් ගුවයිඩෝ අතර බල අරගලය උත්සන්න මට්ටමකට එළැඹ ඇති පසුබිමකදී එරට නීතිපතිවරයා මෙම පියවර ගත්තේය.

විපක්ෂනායක ජුවාන් ගුවයිඩෝ ඉකුත් බදාදා තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග අමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව රටවල් රැසක් ඔහුට සහය පළකිරීම වෙනිසුවෙලාවේ නව දේශපාලන අර්බුදයකට මඟ පැදුවේය. කෙසේ වෙතත් චීනය සහ රුසියාව සහය පළකර ඇත්තේ වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධුරෝටය. මේ හේතුවෙන් එරට අර්බුදය ගෝලීය අලකලංචියක් වන ලකුණු පහළ වී තිබේ.

ඉකුත් 21 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙනිසුවෙලාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 40 දෙනකු මියගොස් තවත් සියගණනක් අත්අඩංගුවට ගෙන ඇත. වෙනිසුවෙලා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් විපක්ෂනායක ගුවයිඩෝ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, අදාළ පියවර ''අලුත් දෙයක්'' නොවන බවය.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අධිකරණය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් ට්විටර් පණිවුඩයක් පළකර තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ ගුවයිඩෝට හානි කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට බරපතල ප්‍රතිවිපාක ලැබෙනු ඇති බව එම ට්විටර් පණිවුඩයේ සඳහන්ය.

මේ අතර නිකොලොස් මධුරෝ ධුරයෙන් පහ කිරීම සඳහා සහාය ලබා ගැනීමට තමා හමුදා ප්‍රධානීන් සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වූ බව වෙනිසියුලානු විපක්ෂනායකවරයා ප්‍රකාශ කර ඇත. හමුදාවේ බහුතර සහාය ඇත්තේ මධුරෝ හටය. මේ අනුව හමුදාව තුළ බෙදීමක් ඇති වුවහොත් එරට හමුදාමය අර්බුදයකට ද ගොදුරු වනු ඇත.

රට පුරා විරෝධතා හට ගත්තේ නිකලස් මධුරෝ ජනවාරි 10 වැනිදා සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමත් සමඟය. පසුගිය වසරේ පැවති ආන්දෝලනාත්මක ඡන්ද විමසීමකින් පසුව ඔහු ජනාධිපති ධූරයට පත් විය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ, විපක්ෂය අපේක්ෂකයන් රැසක් බන්ධනාගාර ගතකර හෝ මැතිවරණය සඳහා තරග කිරීමෙන් වළක්වා තිබියදීය.