2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

බොරු කියා හිරේ වැටුණු එංගලන්ත මන්ත්‍රීවරිය

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 07:01 135

තමන් වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට බොරු කී බව සනාථ වූ  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඇගේ සහෝදරයා සිරදඬුවම් ලබා තිබේ. ඒ අනුව මෑත ඉතිහාසයේ දශක තුනක පමණ කාලයක් තුළ සිරදඬුවම් ලද පළමු පාර්ලිමේන්තු සාමාජිකාව ලෙස නීතිඥ ෆියෝනා ඔනසන්යා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වනු ඇත. ඇය නයිජිරියානු සම්භවයක් ඇති තැනැත්තියකි.

නීතිඥවරියක ද වන ඇයට එල්ල වූ චෝදනා වූයේ 2017 වසරේ ජූලි මාසයේදී පැයට සැතපුම් 30ක වේග සීමා කලාපයක පැයට සැතපුම් 41ක වේගයකින් රිය ධාවනය කළ බවයි. එම අවස්ථාවේ තමන් රියැදුරු අසුනේ නොසිටි බව ඒ සම්බන්ධයෙන් ඇය පවසා තිබුණි.

පීටර්බරා ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය අධිකරණය නොමග යැවීම සම්බන්ධයෙන් වැරුදිකරු වීමෙන් පසු කම්කරු පක්ෂයෙන් නෙරපනු ලැබූ අතර අදාළ නඩුව යළි කැඳවීමෙන් පසුව ඇයට මාස තුනක සිර දඬුවමක් නියම විය ෆියෝනා පීටර්බරාහි කම්කරු පක්ෂ මන්ත්‍රීවරිය ලෙස පත්වූයේ, 2017 වසරේ ජූනි මාසයේදීය. ඇය මෙම වරද සම්බන්ධයෙන් චෝදනා ලැබුවේ, පත් වීමෙන් සති කිහිපයකට පසුවය.

ඇය සිය මෝටර් රථය වේග සීමාව ඉක්මවා ධාවනය කළ අයුරු කැමරාවල සටහන් වී තිබිණි. ඇයට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවෙන් චෝදනා එල්ල වී තිබුණේ, වේග සීමා ඉක්මවා රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකතනයද භාවිත කළ බවටය. මීට පෙර ටෙරී ෆීල්ඩ් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ස්ටර්ලිං පවුම් 373ක බදු මුදලක් නොගෙවීම හේතුවෙන් දින 60ක සිර දඬුවමකට ලක්වූයේ, 1991 වසරේදීය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00