2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ට්‍රම්ප් වෙනිසියුලාවට අත පොවයි !

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

වෙනිසියුලාවේ නිකලස් මධූරෝ මේ මස මුලදී දෙවන වරටත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු එරට පැවැති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය.. එම මැතිවරණය විශාල වංචාවක් බව අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ගේ මතය විය. මධූරෝ පාලනය යටතේ වෙනිසියුලාවේ ආර්ථිකය සහමුලින්ම පාහේ බිඳ වැටුණු අතර, ජනතාවට ආහාර සලාක නොමැති කමෙන් අසල්වැසි රටවල් වෙත පළා යාමට පවා සිදුවූ බව වාර්තා විය.අධික උද්ධමනය හේතුවෙන් එසේ රටෙන් පළාගිය ගණන මිලියන සංඛ්‍යාවකි.

වෙනිසියුලා ජනපති නිකෝලස් මධුරෝ ධුරයෙන් පහ කළ යුතු බව කියමින් ජනතාව දස දහස් ගණනික් වෙනිසියුලා අගනුවර උද්ඝෝෂණය කරමින් සිටි  අතර, එරට  මීළඟ නායකයා වියයුත්තේ කවුදැයි තීරණය කරන්නට ඉදිරිපත් වූයේ අ‍ෙමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය!. ඔහු පවසා තිබුණේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුයායිඩෝ තමන් විසින් වෙනිසියුලාවේ අන්තර්වාර ජනපතිවරයා වශයෙන් පිළිගන්නා බවයි.

ට්‍රම්ප්ගේ උන්මත්තක තීරණය දැනගත් වහා කිපුණු වෙනිසියුලානු නායකයා. වෙනිසියුලාව තුළ සිටින සියලු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හට පැය 72 ක් ඇතුළත රටෙන් පිටවන ලෙස නියම කළේය. නමුත් අමෙරිකාව මුලින් එම නියෝගය නොතකා සිටියේය. ඔවුන් කීවේ අලුත් නායකයා තමන්ට රට තුළ රැඳෙන්නට කී බවය. එසේ වුවද සිකුරාදා වනවිට අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉවත් කිරීම ගැන සලකා බැලීමට එරට තීන්දු කළේය.

ඉකුත් බදාදා වෙනිසියුලාවේ විපක්ෂ නායක 35 හැවිරිදි ජුවාන් ගුවයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ, අමෙරිකාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක මෙන් ම යුරෝපා සංගමයේ ද සහයෝගය හිමි කර ගනිමිනි. තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට ගුවයිඩෝ කළ ප්‍රකාශයෙන් පසු ඔහුව නිල වශයෙන් පිළිගත් අමෙරිකානු ජනාධිපතිවරයා කඩිනමින් මැතිවරණ පැවැත්වීමේ ගුවයිඩෝගේ සැලසුම් අගය කළේය. ඉන් පසු කැනඩාව, බ්‍රසීලය, කොලොම්බියාව, චිලී, පේරු, ඉක්වදෝරය, ආජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් ද ජුවාන් ගුවයිඩෝට සහය පළ කර තිබුණි.

මේ අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ නිකල්ස් මධූරෝ කියා සිටියේ, අමෙරිකාව සමඟ එක්ව විපක්ෂය තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවය. වොෂින්ටනයේ සිට වෙනිසුවෙලාව පාලනය කිරීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය. කෙසේ වෙතත් වෙනිසියුලාවේ රාජ්‍ය පාලනයේ සිදු කෙරෙන වෙනස්කම් රඳා පවතින්නේ එරට ආරක්ෂක අංශ සහය පළ කරන පාර්ශවය මතය. විදෙස් මාධ්‍ය වාර්තා කාළේ, එරට හමුදාව නිකලස් මධූරෝට සහය පළ කර ඇති බවය. මේ අනුව දැන් එරට තුළ අර්බුදය තවත් ඔඩු දුවා ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00