2019 ජනවාරි 26 වන සෙනසුරාදා

නයගරා ගල්වෙයි: ඉන්දියාවටත් හිම : විරෝධතා පැන නගී!

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 260

ලංකාවේ අපටත් මේ දිනවල අසාමාන්‍ය සීතලකට මුහුණ පෑමට සිදුව තිබේ. මේ තත්ත්වය ලෝකයේ බොහෝ රටවලට බලපා ඇත. සීතල සහ හිම නොසිතූවිරූ ලෙස ජන ජීවිතයට අයුතු ලෙස බලපෑම් කරමින් තිබේ. මේ විපර්යාසයට හේතුව මිනිසා විසින්ම ඇති කර ඇති දේශගුණික විපර්යාසයයි. හිම හා සීත සමග දේශගුණික විපර්යාසයට එරෙහි විරෝධතා ද ලෝකය පුරා පැන නැගී හමාරය. 

නයගරා ගල්වෙයි:

අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් මුළුමනින්ම හටගත් දැඩි ශීත කාලගුණය ලොව විශාලතම දියඇලිවලින් එකක් වන නයගරා දියඇල්ල ගල් කර දමා ඇත.  අධික ශීතල හේතුවෙන් කැනඩාවේ සුප්‍රකට නයගරා දිය ඇල්ලේ හිම මිදී ඇති දර්ශනීය දසුන සියසින් දැකගැනීමට පැමිණෙන සංචාරයකයන්ගෙන් නයගරා දියඇල්ලේ පිරික්සුම් වේදිකා පිරීගොස් ඇති බව වාර්තා වේ. අමෙරිකාව සහ කැනඩාව වෙත බලපා ඇති මේ හිම කුණාටුව හේතුවෙන් මිලියන 100කට අධික ජනතාවක් පීඩාවට පත්ව සිටියි.

පැරීසිය තදබදයක:

ඒ ඒ අතර  කහ කබාකරුවන්ගේ විරෝධතාවලින් දැඩි සේ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබූ ප්‍රංශයේ පැරිස් නුවරට ද මේ දිනවල අධික හිම පතනයක් වාර්තා වෙයි. මෙවර සෘතුවේ පළමු හිම වර්ෂාව පතිත වීමෙන් පසු ප්‍රංශයේ පැරිස් නුවර වීදි ශ්වේත වර්ණයෙන් සැරසී තිබුණි. ඒ හේතුවෙන් මාර්ග තදබදයක් ද පවතියි. පැරිස් නුවරට ඉදිරියේදී දැඩි හිමපතනයක් වාර්තා විය හැකි බව පවසන බලධාරීන් මේ වන විටත් තැඹිලි පැහැ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. ඉදිරියේදී සෙන්ටිමීටර් 10කට අධික හිම පතනයක් ලැබෙනු ඇති බව කාලගුණ අංශ අනාවැකි පළකළේය.

ඉන්දියාවට අධික හිම:

ඉන්දියාවේ කඳුකර නගර අධික හිමපතනයකට ලක්ව පවතියි. උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආසන්නයේ පිහිටි හිමාචල් ප්‍රාන්තයට අයත් ශිම්ලා සහ ධරම්සාලා නගර මේ වනවිටත් හිමෙන් වැසී ගොස් ඇත. මේ හේතුවෙන් එම නගර විශ්මලන්තයන් සේ දිස්වන බව දැක්වෙන අතර මේ දිනවලදී සංචාරකයන් බොහෝ පිරිසක් මෙම නගරවලට පැමිණෙන බවත් එම වාර්තා වෙයි. නගර මංමාවත් මෙන්ම නිවාසවල වහල සහ රථවාහන මත හිම මිදී ඇති ආකාරය දක්නට ලැබෙන අතර  ශිම්ලා සහ ධරම්සාලා නගරවැසියන්ට අධික හිමපතනයෙන් සහ ශීතලෙන් දැඩි පීඩා විඳීමට සිදුව ඇත.

ඉන්දුනීසියාවට ගංවතුර :

ඉන්දුනීසියාවේ දකුණු සුලවෙසි ප්‍රදේශයට ගංවතුර හා නායයෑම්  තර්ජනයක් එල්ල වී ඇත. මේ හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 25 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. පුද්ගලයන් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති. ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති අතර මෙම තත්ත්වය තුළ පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා හෙළිකොප්ටර් යානා යොදා ගැනීමට ද ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුව ඇත.

මේ අතර තවදුරටත් ප්‍රමාද නොවී මේ සිදුවන දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ස්විට්සර්ලන්ත සිසුන් විරෝධතාවක් ආරම්භ කර තිබුණි.

“ස්ට්‍රයික් ෆෝර් ක්ලයිමේට්”  නමින් වූ මේ විරෝධතා ව්‍යාපාරයට අටදහසකට අධික පිරිසක්  එක්වී සිටි බවවාර්තා විය.ඒ අනුව පසුගියදා ජීනිවා නුවර පැවති විරෝධතා පාගමන සඳහා සිසුන් සහභාගිවී සිටියේ සිය අධ්‍යාපන කටයුතුද මගහැර වීමත් විශේෂත්වයකි. දේශගුණික විපර්යාස අවම කිරීම සම්බන්ධයෙන් වන කතිතාවන්ට වඩා වැදගත් වන්නේ ඒ වෙනුවෙන් ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග බව විරෝධතාකරුවෝ එහිදී අවධාරණය කළහ. ෆොසිල ඉන්ධන භාවිතය අවම කරන ලෙසත්, 2030 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීමට කටයුතු කරන ලෙසත්  ඔවුන් එහිදී ඉල්ලා සිටියහ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00