2019 ජනවාරි 19 වන සෙනසුරාදා

වැඩි පඩි ඉල්ලා දස දෙස වර්ජන

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

පසුගිය සතියේ ලොව තැන තැන වැඩි පඩි ඉල්ලා පැවති වර්ජන ගර්ජන කිහිපයක් වාර්තා විය. ජර්මනිය, සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ කවදාකවත් නැතිව අමෙරිකාවේද වර්ජන හටගත්තේය.

ජර්මනිය ගුවන් ගමන් හබක්

සාධාරණ වැටුපක් ඉල්ලා ජර්මනියේ හැම්බර්ග්, හැනෝවර් සහ බ්‍රේමෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක සේවකයෝ වැඩවර්ජනයක් ආරම්භ කළහ. ඉන් පැය කිහිපයකට පසුව ෆ්‍රැන්ක්ෆට් ප්‍රධාන ගුවන්තොටුපොළේ ආරක්ෂක අංශයද ඊට එක්විය. පසුව ජර්මනියේ ගුවන්තොටුපොළ අටක ආරක්ෂක අංශ මේ වැඩ වර්ජනයකට එක්වීම හේතුවෙන් ඒවායේ ගුවන් ගමන් වාර රැසක්ම අවලංගු කරන්නට සිදුවිය.

මෙම අර්බුදය හේතුවෙන් මගීන් දෙලක්ෂයකට අධික පිරිසක් අපහසුතාවට පත්වූහ. පසුගිය සතියේදීද ජර්මනියේ ගුවන්තොටුපොළ රැසකදී මෙවන් වැඩ වර්ජන පැවැත්විය. ඉදිරියේදී මෙම වැඩ වර්ජන සෙසු ගුවන්තොටුපොළ වෙත පැතිර යනු ඇති බවටත් ඉඟි පළවී තිබේ. ජර්මනියේ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සාමාජිකයන් 23000ක් පමණ සේවයේ නිරතව සිටිති. ඔවුන් මෙසේ වැඩ වැරීම්වල නිරතව සිටින්නේ වැටුප් විෂමතා සම්බන්ධ ඇති වූ අර්බුදයක් මතයි.

බංග්ලාදේශය - ඇඟලුම් හටන

බංග්ලාදේශය පුරා සතියකට වැඩි කාලයක් වර්ජන රැල්ලක් පවතී. එරට ඇඟලුම් සේවිකාවන් සාධාරණ වැටුපක් ඉල්ලා එළියට බැසීමත් සමගිනි. මේ වර්ජනය නොසිතූ ලෙස ගැටුම්කාරීව පැතිර යාමත් සමග ආයතන කිහිපයක් වැඩ වර්ජිත සේවිකාවන් සිය ගණනක් නෙරපාලූහ. පොලිස් රබර් බුලට් පහරට ලක්ව 50කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. ලෝක වෙළඳපළට නිමි ඇඳුම් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් අතර දෙවෙනි තැන හිමිව ඇත්තේ මේ රටටය. පළමුවැන්නා චීනයයි. බංග්ලාදේශය නිමි ඇඳුම් කර්මාන්තය මගින් ඩොලර් බිලියන 30ක ආදායමක් උපයයි. රටපුරා කම්හල් 4500කි. නමුත් මේවා තුළ ඇත්තේ දැඩි ශ්‍රමය සූරා කෑමකි. ලෝකයේ අඩුම වැටුප් ඇත්තේ මෙහිය. රටේ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා ප්‍රශ්නකාරී මැතිවරණයකින් නැවත පත්වූවාය. වර්ජන රැල්ල පණ ගසා එන්නට වූයේ ඒ සමගිනි.

අමෙරිකාවෙත් ගුරු වර්ජනයක්

අමෙරිකාවේ දෙවන විශාලතම පාසැල් පද්ධතිය හිමි ලොස් ඇන්ජලීස් නගරයේ ගුරුවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ විරෝධතාවක් ආරම්භ කර ඇත. ඒ සඳහා තිස්දහසක පමණ පිරිසක් සහභාගි වී සිටිති. ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

මෙය දශක තුනකට පමණ පසුව ලොස් ඇන්ජලීස්හි ගුරුවරුන් වැඩ වර්ජනයක නිරත වන පළමු අවස්ථාවයි. මේ හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර විශ්වවිද්‍යාල 900ක සිසුන් 640,000 කගේ පමණ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති පවසන්නේ 6.5%ක වැටුප් වර්ධකයක් අවැසි බවයි.

විශ්වවිද්‍යාල වෙත තවත් පුස්තකාලයාධිපතිවරුන්, උපදේශකයින් සහ හෙදියන් බඳවාගන්නා ලෙසත්, විභාග පැවැත්වීම සීමාකරන ලෙසත්, පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව සීමාකරන ලෙසත් ඔවුන්ගේ සෙසු ඉල්ලීම් අතරට අයත්ය. සති ගණනක් පුරා පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් පසු තමන් විරෝධතාවක නිරතවීමට තීරණය කළ බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති. විරෝධතාව සඳහා කම්කරු සංගම් කිහිපයක සහායද හිමිව ඇත.

සිම්බාබ්වේ තෙල් හටන

සිම්බාබ්වේ ප්‍රධාන නගරය හරාරේ සහ දෙවැනි ප්‍රධාන නගරය බුලවායෝ කැළඹී ගියේ මහා විරෝධතා රැල්ලකිනි. මේ විරෝධතාවට හේතුව රොකට් වේගයෙන් ඉහළ යන තෙල් මිලයි. මේ වනවිට මරණ 3ක් වාර්තාගත අතර වෛද්‍ය කණ්ඩායම් තමන් 172 කට සැත්කම් කළ අතර තුවාල ලද 68 කට වෛද්‍ය ආධාර ලබාදුන්  බවද කීය. 2017 මුගාබේ පාලනය පෙරළා දමා බලය අතට ගත් එමර්සන් මනන්ග්ගාවා බිඳවැටුණු ආර්ථීකය ගොඩගන්නා බව කීය. නමුත් මේ වනවිට එය කැඳ හැලියක් බවට පත්ව තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන තෙල් මිල සියයට 150කින් ඉහළ ගොසිනි. වීදි බට විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් බලය යොදා තිබේ. විපක්ෂ මන්ත්‍රිවරයෙක් සහ ප්‍රමුඛ ක්‍රියාධරයෙක් ඇතුළු 600ක් මේ වනවිට පොලිස් කූඩුවේය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00