2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කඩචෝරු පාටිය !

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

මේ වනවිටත් අමෙරිකානු රාජ්‍ය යන්ත්‍රය අඩපණව ගොසිනි. ට්‍රම්ප්ගේ හිතුවක්කාර සංක්‍රමණික තාප්පය අමෙරිකානු කොංග්‍රසය තුළ ඇති කළ බෙදීම එරට ආර්ථීකයද  පසුබැස්සුවේය. දහස් ගණනකට වැටුප් අහිමිව මාසයක් ගතවී ගොසිනි. ෆෙඩරල් අධිකරණයේද දොර වැසී ගොස් ඇති අතර අමෙරිකානු කොංග්‍රසය අමතා කරන්නට හිටි ට්‍රම්ප්ගේ රාජ්‍ය කතාවද කල් ගියේය. මේ සියලු අලකලංචි මැද ට්‍රම්ප් තවමත් තාප්පය තදින්ම බදාගත් ගමන්ය. රටේ ලෝකේ කුමක් සිදුවුවත් තමන්ගේ ක්‍රමයකට ජීවත් වෙන්න පුරුදු වූ ට්‍රම්ප් පසුගිය සඳුදා තවත් අපුරු වැඩක් කළේය. ජාතික පාසල් පාපන්දු සූරයන් වූ කණ්ඩායමට ධවල මන්දිරයට එන්න කියා පාටියක් දැමීමය.

ට්‍රම්ප්ගේ පාටිය මුළුමනින්ම කඩ කෑමවලින් සමන්විත වූවකි. වියදම් කරන්නට ආණ්ඩුවේ සල්ලි පාස්වන්නේ නැති නිසා මුළු පාටියටම ඔහු තමන්ගේ සාක්කුවෙන් සල්ලි ඇද්දේය. ධවල මන්දිරය පිරෙන්නම කඩචෝරු ගෙනාවේය. ඔහුගේ ප්‍රියතම මැක්ඩොනල්ඩ් කෑම වට්ටෝරුව සමග පීට්සා, ෆ්‍රෙන්ච් ප්‍රයිස් සහ හැම්බර්ගර් 1000ක් පමණද විවිධ අමෙරිකානු කෙටිකෑම කඩවලින් ගෙනා සිය ගණන් ලටපට ආහාර පෙට්ටිද ගොඩගසා කණ්ඩායම පිළිගත්තේය. අන්තිමේ මේ පිළිගැනීම ගැන පම්පෝරියක් ට්වීටර් කරන්නටද අමතක නොකළේය.

"ඊයේ රෑ පාපන්දු සූරයෝ වයිට් හවුස් ගෙන්නුවා, ආණ්ඩුව ඇද වැටිලා නිසා අතින් ගෙවලා ක්ෂණික කෑම ගෙනාවා. හැම්බර්ග් දාහකටත් වැඩිය තිබුණා. පැයක් යන්න ඉස්සර ඔක්කොම ඉවරයි. නියම හදයෝ, කට බඩ පුරා කන්නෝ....” මේ සමඟ ඇති ජායාරූපය සමග ට්‍රම්ප් ලියා තිබුණි.