2019 ජනවාරි 19 වන සෙනසුරාදා

නයිරෝබි වීරයා

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි සුපිරි සංචාරක හෝටලයකට පසුගිය අඟහරුවාදා එල්ලවූ "අල්-ෂබාබ් ත්‍රස්තවාදී" ප්‍රහාරයේදී පුද්ගලයින් 21 දෙනෙක් මියගිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක්ද විය. හෝටලය තුළ සිටි ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට සහ ත්‍රස්තවාදීන් 05 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායම මරා දැමීමට ඉදිරිපත් වූ විදෙස් හමුදා නිලධාරියකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා ඉහළින් වාර්තා කර තිබුණි. ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීමට නොහැකි වුවත් එම නිලධාරියා බ්‍රිතාන්‍ය විශේෂ බලකායට (SAS) අයත් බවත් කෙන්යානු ආරක්ෂක අංශවලට හෝටලය තුළට පිවිසීමට නොහැකිව සිටියදී මෙම නිලධාරියා සිය ජීවිතය ගැන නොසිතා සටනට පිවිසි බවත් වාර්තා විය.

කෙන්යානු හමුදා භට පිරිස් පුහුණු කිරීම සඳහා එරටට ගොස් සිටි මෙම බ්‍රිතාන්‍ය විශේෂ බලකායට අයත් හමුදා නිලධාරියා නොවන්නට නයිරෝබි නුවර පිහිටි සුපිරි සංචාරක හෝටලයේ සිටි බොහෝ සංචාරකයින්ගේ ජිවිත අවදානමකට ලක්වන්නට ඉඩ තිබුණි. අල්කයිඩා හා සම්බන්ධ අල් ෂබාබ්වරු පසුගිය කාලයේ ප්‍රහාර 20කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර එයින් 300කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායල අගනගරය සේ කළ පිළිගැනීමට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් කියා ඇත.

හෝටලයට ඇතුළුවීමට පෙර කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් ත්‍රස්තවාදින් සිය ප්‍රහාරය එල්ලකරනු ලැබූ අතර එම අවස්ථාවේදී හෝටලය තුළ දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිට ඇත. මේ අතර සිටි මෙම ප්‍රහාරයේදී මියගිය අමෙරිකානු ජාතිකයා 2001 වසරේදී අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් නිව් යෝක්හී පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් එල්ලකරනු ලැබූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් දිවි බේරාගනු ලැබූ පුද්ගලයෙක් බව වාර්තා විය.