2019 ජනවාරි 12 වන සෙනසුරාදා

යුරෝපයට හිම

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

ජර්මනිය, ඔස්ට්‍රියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක හිමපතනය ආරම්භ වී තිබේ. මේ හේතුවෙන් එකී රටවල දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා රැසක් අඩාල වී ඇති බව වාර්තා වෙයි. ජර්මනියේ ප්‍රදේශ රැසකට ලැබෙමින් පවතින අධික හිමපතනය හේතුවෙන් ප්‍රවාහන සේවාවලට බාධා මතුවී තිබේ. හිමවලින් මාර්ග අවහිරවී තිබීම නිසා දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමටත් එරට බලධාරීන්ට සිදුව ඇත. එරට වැසියන් පවසන්නේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ අධික හිමපතනයක් ලැබෙමින් පවතින බවයි.

තවත් යුරෝපීය රටක් වන ඔස්ට්‍රියාවටත් මෙවැනිම හිමපතනයක් ලැබෙමින් පවතියි. එරට ඇතැම් ප්‍රදේශවල නිවාස සහ රථවාහන හිමෙන් වැසී ගොස් ඇති ආකාරයත් දක්නට ලැබෙයි. දැඩි හිමපතනය හේතුවෙන් මධ්‍යම ඔස්ට්‍රියාවේ හිමකඳු කඩාවැටීමේ අවදානමක්ද මතුව ඇති බව වාර්තා වෙයි. මේ අතර බ්‍රහස්පතින්දා නිකුත්වූ නවතම පර්යේෂණ වාර්තාවක් එළිදැක්වූ නිව්යෝක් ටයිම්ස් පුවත් පත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි. එයට අනුව ලොව පුරා සාගර උණුසුම කලින් අනුමාන කළ මට්ටමට වඩා අතිශය ඉහළ අගයක් ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ගණනය කිරීම්වලට වඩා සියයයට 40 ගුණයක ඉහළ මට්ටමකට උණුසුම නගින බව එය පෙන්වා දෙයි. මේ තත්ත්වයට දක්වන ප්‍රතික්‍රියාවක් ලෙස උණුසුම් බවෙන් කැළඹුණ සුළං කුණාටු ඉහළ යන බවත් කොරල්පර විනාශය සිදුවන බවත් වාර්තාව කියයි.