2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවේ බෝම්බ භීතිකාවක්!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

පසුගිය සඳුදා දිනයේදී සුදු පැහැති ද්‍රව්‍යයක් සහිත පාර්සල් කිහිපයක් සිඩ්නි නුවර පිහිටි ආර්ජන්ටිනා තානාපති කාර්යාලය වෙත ලැබී තිබිණි. මෙල්බර්න්හි පිහිටි ස්විට්සර්ලන්ත කොන්සල් කාර්යාලයේ "asbestos" යනුවෙන් නම් කරන ලද කුඩා ලියුම් කවරයක් ලැබුණි. මෙලෙස ඕස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බන් සහ සිඩ්නි නගරවල පිහිටි කොන්සල් කාර්යාල සහ තානාපති කාර්යාල වෙත සැකකටයුතු පාර්සල් ලැබීමත් සමඟ මහත් ආන්දෝලනයක් සහ භීතියක් පැතිර ගියේය. සැක සහිත පාර්සල් ලද  ස්ථාන අතරට බ්‍රිතාන්‍ය, අමෙරිකාව, පකිස්ථාන, ඉන්දීය, ග්‍රීක, ස්විට්සර්ලන්ත, ඉතාලි, ප්‍රංශ, දකුණු කොරියානු සහ නවසීලන්ත කොන්සල් කාර්යාලද අයත්ව තිබුණි.

මේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්ව තිබේ. පොලීසියට අනුව එම පුද්ගලයා පාර්සල් 38 ක් යවා ඇති අතර ඒවායේ අන්තර්ගතය මෙතෙක් හඳුනාගෙන නැත. ඔහුගේ මෙම ක්‍රියාවට හේතුවද තවම අබිරහසකි. 

මේ අන්දමට  සැකකටයුතු පාර්සල  ලැබීමේ  සිද්ධියක්  පසුගිය  ඔක්තෝබරයේ අමෙරිකාවෙන්ද වාර්තාවිය. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන හිටපු ජනපති බරැක් ඔබාමා සහ අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියක වන හිලරි ක්ලින්ටන් වෙත මෙන්ම CNN මාධ්‍ය ආයතනයටද පුපුරණ ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සල් ලැබුණූ බව වාර්තාවිය. එය සිදුවූයේ, නිව්යෝක් නගරයේ පදිංචි ධනවතෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවස ආසන්නයේ තිබී බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියෙන් දින දෙකකට පසුවය.