2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කිම්-ට්‍රම්ප් සාම කතා නැවතත්!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

උතුරු කොරියා දුම්රියක් චීනයට ඇතුළුවනු දුටු බවට සතිය මුලදී දකුණු කොරියානු යෝන්හැප් පුවත් සේවය වාර්තා කිරීමත් සමඟ රාවය පැතිර ගියේ උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්-අන් චීන සංචාරයක් අරඹා ඇති බවටය. මුලින් මේ පුවත පැවැතියේ සැකයක් සහිතවය.

දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ඩන්ඩොන් නම් නගරයේ දුම්රිය ස්ථානය අවට මාර්ග ආරක්ෂක රථ සහ නිලධාරීන් විසින් අවහිර කර තිබිණි. එදින ඩන්ඩොන්හි හෝටල්වල දේශසීමාව දෙසට මුහුණලා ඇති කාමර වල සිටින අමුත්තන්ට ඒවා තුළට ඇතුළු වීම වළකා ඇත. එසේ කර ඇත්තේ කිම් ගමන් ගන්නා කොළ සහ කහ වර්ණ ආලේපිත දුම්රිය දර්ශනය වීම අවහිර කිරීමටය. ඔහුගේ ප්‍රථම චීන සංචාරය සඳහාද මෙම දුම්රිය යොදාගත් බව පැවසේ. එය කිම්ගේ පියා වන කිම් ජොන්-ඉල් විසින් 2011 දී තම චීන සහ රුසියා සංචාර සඳහා යොදාගත් දුම්රියට සමානය. 

අන්තිමේ දෙරටේම මාධ්‍ය මගින් කිම්ගේ සංචාරය සති මැදදී  ස්ථීර කළහ. ඒ අනුව කිම් ගමන් ගන්නා කොළ සහ කහ වර්ණ ආලේපිත දුම්රිය අඟහරුවාදා සවස බේජිං නුවරට ළඟා වී තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයකින් බේජිං නුවර සංචාරයක් සඳහා කිම් සිය බිරිඳ රී සෝල්-ජු සමඟ එරටට පැමිණි අතර ජනවාරි 10 වනදා තෙක් එරට රැඳී සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය. කිම් සමඟ ඉදිරි පෙළ උතුරු කොරියානු නිලධාරීන් කිහිප දෙනෙක් චීනයට පැමිණ ඇති අතර ඒ අනුව මෙය ඔහුගේ වසරකට අඩු කාලයකදී වාර්තා වූ සිව්වැනි චීන සංචාරයයි.

උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්-අන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තවත් හමුවක් නුදුරේදීම පැවැත්වෙන බවට දැන් තොරතුරු හෙළිවෙමින් තිබේ. කිම් ජොන්-අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෙවන හමුව සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවට ද වාර්තා තහවුරු වෙමින් ඇත. කිම්ගේ චීන ගමන ඒ සාමකතා සඳහා වටපිටාව සැකසීමේ සංචාරයක් ලෙසටද අදහස් පළ වේ.

ඔවුන් දෙදෙනා පසුගිය ජුනි මාසයේදී හමු වූ අතර එය ඇමෙරිකා ජනාධිපතිවරයෙක් තම ධුර කාලයේ දී එවැනි හමුවක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව විය. සිංගප්පූරුවේ පැවති හමුවෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සහ කිම් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය නොවිණි. එහිදී කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිහරණ කලාපයක් බවට පත් කිරීමට දෙපාර්ශවය ලිඛිත එකඟතාවයකට එළඹියත්, එය සිදුවන්නේ කවදාද යන්න අපැහැදිලි ව තිබුණි.

තමා සහ උතුරු කොරියා ජනාධිපති අතර තවත් හමුවක් සඳහා සුදුසු ස්ථානයක් නුදුරේදීම හෙළිකරන බව ජනාධිපති ට්‍රම්ප්ද මීට දින කිහිපයකට පෙර කියා තිබුණේ එබඳු වටාපිටාවක් පැවසීය. උතුරු කොරියාව සමඟ "යහපත් අදහස් හුවමාරුවක්" සිදුවන බව වොෂින්ටන් නුවරදී වාර්තාකරුවන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් පැවසීය. මීට පෙර වතාවේදීද දකුණු කොරියා ජනාධිපති මුන් ජා-ඉන් සහ ට්‍රම්ප් හමුවීමට පෙර කිම් චීනයට දෙවරක් පැමිණ ගියේය. එමගින් නිසියාකාර සැලැස්මක් ඇති කර ගැනීමට ඔහුට  අවස්ථාව ලැබුණි.

පසුගිය සතියේ වාර්ෂික දේශනය පවත්වමින් උතුරු කොරියා ජනාධිපතිවරයාද නැවත කියා තිබුණේ තමා න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් බැඳී සිටින බවයි. ඒ අනුව කොළ කහ පැහැ දුම්රියේ චීන ගමන ලෝක සාමය සොයා ගිය ගමනක් ලෙස හැඳින්වීම සුදුසුය.