2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

උතුරේ සිසුන් 500කට මයුරපති අම්මාන් ශිෂ්‍යත්ව

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල යුද්ධයෙන් පීඩාවට පත්වූ, අඩු පහසුකම් සහිත දෙමිළ, සිංහල හා මුස්ලිම් සිසු සිසුවියන් 500කට "නැණදිරිය" වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙහිදී එක් සිසුවකුට මාසිකව රුපියල් දහසක් වසර තුනක් පුරා ලැබෙන අතර මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ භාරකරු සුන්දරලිංගම් මහතාගේ මඟ පෙන්වීම මත රුපියල් මිලියන 18ක් ඒ සඳහා වෙන් කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීමක් අනුව මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල පස්වැනි වසරේ සිට නවවැනි වසර දක්වා සිසු සිසුවියන්ට මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහයෝගයෙන් කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී පැවැත්වුණු ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගී විය. ඊට ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ සාමාජිකයෝ රැසක්ද සහභාගී වූහ.