2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

සිංගර් වෙතින් උලුක්කුලමට ජල පිරිපහදු ඒකකයක් සහ බෙදාහැරීම් පද්ධතියක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙරට සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයට දායක වෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උලුක්කුලම ගම්මානය සඳහා ජල පිරිපහදු ඒකකයක් පිහිටුවයි. රුපියල් මිලියන 4ක් පමණ වන මෙම ව්‍යාපෘතිය සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම ආධාර සපයා ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පෞද්ගලික සමාගමේ තාක්ෂණික දායකත්වය ඇතිවල ජලසම්පාදන මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය පිහිටුවා තිබේ.

වකුගඩු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින ගම්මානයක් ලෙස අනුරාධපුර උලුක්කුලම ගම්මානය සිංගර් විසින් තෝරාගෙන ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පුද්ගලික සමාගම හා එක්ව එම ප්‍රදේශයේ ජල පිරිපහදුකරන ඒකකයක් ඉදිකළ යුතු බව තාක්ෂණිකව තහවුරු කරගෙන තිබේ. මේ අනුව 1600ක පමණ ජනතාවක් වාසය කරන අනුරාධපුර උලුක්කුලම ගම්මානය සඳහා මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවා තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ එකම රටක ජීවත්වන පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳීම සම්බන්ධයෙන් සිය සමාගමේ අවධානය දැඩි ලෙස යොමු වූ බවයි. ඒ අනුව මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවීමට කටයුතු කළ බවත්, එතුළින් වකුගඩු රෝගය ඇතිවීමේ අවදානම යම් මට්ටමකින් අවම කිරීමට හැකිවනු ඇති  බවද හෙතෙම කීය. 

අලුතින් ඉදිකළ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය මඟින් බෙදාහැරීමේ ස්ථාන 9ක දී ජනතාව වෙත පිරිසිදු ජලය නිකුත් කෙරේ. මෙම පිරිපහදු ඒකකය මඟින් දිනකට ජලය ලීටර් 10,000ක් නිපදවනු ලබයි. මෙම පිරිපහදු කළ ජලය ලීටරයක් රුපියලක් වැනි මුදලකට ජනතාව වෙත සැපයෙන අතර" එම මුදල් මෙම ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුතු සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

පසුගිය කාලය පුරාම පැවැත්වූ පර්යේෂණ හා සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ උතුරු මැද පළාතේ සීඝ්‍රයෙන් වකුගඩු රෝගය පැතිරයාමට හේතුව ජලය බවයි. මෙම පිරිපහදු ඒකකය පිහිටවූ උලුක්කුලම ගම්මානයේ  වකුගඩු රෝගීන් 65 දෙනෙකු ජීවත්වන අතර රෝගයට ගොදුරැවීමේ අවදානමට ලක්වූ 1600ක පමණ පිරිසක් ජීවත් වෙති.
2016 වර්ෂයේ මැද භාගයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා රුපියල් මිලියන 7.5ක් වටිනා රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා  CRRT (Continuous Renal Replacement Therapy) යන්ත්‍ර 3ක් ජාතික රෝහල් වෙත පිරිනමන ලදී. සිංගර් “Thirst for Life”  ව්‍යාපෘතිය යටතේ මෙම CRRT (Continuous Renal Replacement Therapy) යන්ත්‍ර පිරිනැමීය. ඒ අනුව සිංගර් විසින් මෙරට රෝහල් සඳහා ලබාදී ඇති CRRT යන්ත්‍ර සංඛ්‍යාව 6 කි.