2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

2018 මොබිටෙල් ඩ‍්‍රෑග් දෙවැනි වටයේ තියුණු තරගකාරිත්වයක්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

2018 අගෝස්තු 12 වැනි ඉරිදා කටුකුරුන්ද ධාවන පථයේදී 2018 මොබිටෙල් ඩ‍්‍රෑග් තරගාවලියේ දෙවැනි වටය පැවැත්විණ. මෙම තරගාවලිය සිලෝන් මෝටර් ස්පෝට්ස් සංගමය CMSC, ශ‍්‍රී ලංකා ඩ‍්‍රෑග් රේසින් සංගමය (DRASL) සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව SLAF විසින් සාමූහිකව සංවිධානය කරනු ලැබිණ. මෙහි ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය මොබිටෙල් Mobitel සමාගම විසින් දරන ලද අතර, ජගුවර් සහ ලෑන්ඩ්රෝවර් වාහන සඳහා ශ‍්‍රී ලංකාවේ එකම නියොජිත වන එස්.එම්.එල් ෆ්‍රොන්ටියර් SML Frontier Automotive සමාගම වාහන අනුග‍්‍රාහකයා විය. දවසේ වේගවත්ම ධාවකයා’ කුසලානය දිනා ගත් හිරාන් කැවිටියගල Pro Drag Open අංශයේ ජයග‍්‍රාහකයා බවට ද පත් වූ අතර සබ්රි සලාම් ‘හොඳම සුසරකරු’ කුසලානය හිමි කර ගත්තේය.

2018 මොබිටෙල් ඩ‍්‍රෑග් තරගාවලියේ දෙවැනි වටය පැවැත්වීමෙන් ලැබෙන ආදායම පොදු කටයුතු සඳහා යොදවන අතර, එහි ප‍්‍රධාන ප‍්‍රතිලාභියා වන්නේ රජයේ පුණ්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා පදනමයි. 1934 සැප්තැම්බර් 04 වැනිදා ආරම්භ කරන ලද ලංකාවේ පැරණිතම මෝටර් රථ ක‍්‍රීඩා සමාජය වන සිලෝන් මෝටර් ස්පෝට්ස් සංගමය සමග ඩ‍්‍රෑග් ක‍්‍රීඩා තරග සඳහා උනන්දුවක් දැක්වූ ක‍්‍රීඩා ලෝලීන් 05 දෙනකු එක්ව 2013 නොවැම්බර් මාසයේ දී අරඹන ලද ශ‍්‍රී ලංකා ඩ‍්‍රෑග් රේසින් සංගමය DRASL එකට එක්ව මෙම තරගාවලිය පවත්වනු ලබයි. ශ‍්‍රී ලංකා ඩ‍්‍රෑග් රේසින් සංගමය DRASL අරඹනු ලැබුවේ වෘත්තීමය ක‍්‍රීඩා තරග සංවිධායකයන් සහ ඩ‍්‍රෑග් ක‍්‍රීඩා ලෝලීන් අතර තිබූ අඩුපාඩුව පිරවීම සඳහාය.