2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට කොළඹට දිනපතා ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමන්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

ශ්‍රීලංකන්  ගුවන්  සමාගම සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත  කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස  ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් නුවර වෙත  ඔක්තෝබර් මස 29 වැනිදා  සිට දිනපතා සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය. මෙමගින් ගෝලීය  සංචාරකයන්ට සුවපහසු ලෙස ඕස්ට්‍රේලියාව වෙත සංචාරය කිරීමටත් ඕස්ට්‍රේලියාව ආශ්‍රිත රටවල්හි සංචාරකයන්ට කොළඹ සිට පහසු ගුවන් සබඳතා පවත්වමින් ලෝකය පුරා සංචාරය කිරීමටත් අවස්ථා උදාකර දී ඇත.

ජාතික  ගුවන් සේවයේ සභාපති  අජිත්  ඩයස්  මහතා  ප්‍රකාශ කර සිටියේ  මෙම නව සේවාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව ගුවන්  සමාගම ඉතා  සතුටට පත්වන බවයි. මෙම නව ගුවන් ගමන් සියලු අංශයන් හි සංචාරකයන්ට එනම් ඕස්ට්‍රේලියාවේ  වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රටවල් වෙත සංචාරය කිරීමට ප්‍රියකරන ඕස්ට්‍රේලියානු සංචාරකයන් ඇතුළු ඕස්ට්‍රේලියාව ආශ්‍රීත රටවල් නැරඹීමට කැමති ආසියානු ප්‍රජාවට ඉතා පහසුවක් වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඕස්ට්‍රේලියාවේ  ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පදිංචි වී සිටින අතර ශ්‍රී ලාංකික සිසුහු ද විශාල පිරිසක් ද එහි අධ්‍යයන කටයුතු සිදුකරනු ලබති. ඔවුන් නිරතුරුවම  සිය මව්බිම වෙත සංචාරය කරනු ලබයි. මෙම පිරිසෙන් වැඩි ශ්‍රී ලාංකික ජනතාවක් වාසය කරන්නේ මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්ත අශ්‍රිත නිව් සවුත්වේල්ස් යනාදි ප්‍රදේශවලයි.  ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශ සහ නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් සුළුතරයක් වාසය කරනු ලබයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන  විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය ආසියාව පුරාවටත් මැද පෙරදිග සිට ඈත පෙරදිග දක්වාත් සමස්තයක් ලෙස ව්‍යාප්ත කිරීම තුළින් ඕස්ට්‍රේලියානු සංචාරකයන්ට පහසු  ගුවන් සබඳතා පැවැත්වීමටත් කොළඹ හරහා සිදුකරන සෘජු ගුවන් ගමනාන්ත වෙත සංචාරය කිරීමටත් අවස්ථා උදාවනු ඇති බවයි.

වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන්  ඉන්දියාවේ නගර 14 වෙත පහසු ගුවන් සබඳතා පවත්වමින් මැදපෙරදිග ගමනාන්ත 9ක්, මාලදිවයිනේ මාලේ සහ ගැන් දිවයින මෙන්ම සීෂෙල්ස් වෙතද සිය ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. එසේම ශ්‍රීලංකන් සිය සංකේත හුවමාරු ගුවන් සේවා වන කොන්ටාස් සහ මැලේෂියා එයාර්ලයින්ස් සමගින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක් නැවතුමක් සහිත දිනකට දෙවරක් ගුවන් මෙහෙයුම් සිදුකරයි.
මෙල්බර්න් සහ කොළඹ වෙත සිදුකරනු  ලබන ගුවන් ගමන් සඳහා යොදවා ඇති අති නවීන UL330  ගුවන් යානාවන් හි සුවපහසුව සමගින් ගුවන් මගීන්ට ව්‍යාපාර පංතියේ නිදන ආසන, අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය, ශ්‍රීලංකන් සම්මානලාභි ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන අති විශිෂ්ට සේවා  අත්විඳීමට හැකියාව ලැබේ. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් සී/ස ශ්‍රී ලංකන් ඒවියේෂන් සමූහ (පෞ) සමාගම (Sri Lankan Aviation Group Pvt Limited)  මෙල්බර්න් හි සිය ප්‍රධාන විකුණුම් නියෝජිත ලෙස පත්කර ඇත. මේ අනුව ශ්‍රීලංකන් කාර්යාලය මෙල්බර්න් හි කාමර අංක 546, 1, ක්වීන්ස් පාර, මෙල්බර්න්, වික්ටෝරියා 3004 යන ලිපිනයෙහි පිහිටා ඇත. ඊමේල් info@srilankanau.com.au