2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් කේටරින් 2017 ජාතික සූපශාස්ත්‍ර පදක්කම් 19ක් දිනයි

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජාතික සූපශාස්ත්‍ර තරගාවලියේදී (Culinary Expo 2017) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 29 ක් දිනාගත් අතර එයට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් ඇතුළත් වේ. 17 වැනි වරට පැවති මෙම ජාතික සූපශාස්ත්‍ර තරගාවලිය ශ්‍රී  ලංකා සූපවේදී සංගමය (Chefs Guild of Sri Lanka) විසින් සංවිධානය කළ අතර එය පසුගියදා කොළඹ දී පැවැත්විණි. 

ශ්‍රීලංකන් කේටරින් විධායක අධ්‍යක්ෂ රඛිත ජයවර්ධන මහතා සඳහන් කළේ නැවත වතාවක් සිය කණ්ඩායම විශිෂ්ට දක්ෂතාවයන් පෙන්නුම් කර ඇති බවයි. එසේම කණ්ඩායමේ සාමාජිකයන් 24 දෙනා අතර පදක්කම් දිනා ගනිමින් දිවයිනේ අනෙකුත් හෝටල් සහ ආපනශාලා කර්මාන්තයේ  ප්‍රධාන සූපවේදීන් කිහිපදෙනකු ඉතා හොඳ තරගයක් ලාබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.  ශ්‍රීලංකන් කේටරින් සූපවේදී කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් හා කුසලතාවන් සහ නව්‍යතාවයෙන් යුතුව පවත්වාගෙන යමින් ගුවන් සේවා සපයන්නන් සහ ආපනශාලා හිමිකරුවකු ලෙස කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.  

පසුගිය මාසයේ කටුනායක ගුවන් තොටුපළේ  පිහිටි ගුවන් කේටරින්  අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන ජාතික ගුවන් සේවයට සහ දිනපතා ලොව අනෙකුත් කීර්තිමත් ගුවන් සේවාවලට දිනකට ආහාර වේල් 25,000 ක සපයමින් අත්දැකීම් රාශියක් අත්පත් කර ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත්  පැවසීය. 
මෙහිදී චතුර කරුණාරත්න රන් පදක්කම් 2ක්  සහ රිදී පදක්කම් 2 ක් දිනාගත් අතර උපුල් මාරසිංහ රන් පදක්කම් 2 ක්  Scan Sunquick Mocktail තරගය යටතේ දිනාගන්නා ලදී. චතුර කරුණාරත්නගේ  කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනා ගත් අතර ඊට අමතරව Most Outstanding Mixologist in Sri Lanka ලෙසද සම්මානයට පාත්‍ර විය. මොවුන් දෙදනාම කොළඹ පැරණි ලන්දේසි රෝහල් ගොඩනැගිල්ලේ පිහිටා ඇති ශ්‍රීලංකා කේටරින් ආයතනයේ  Semondu ආපනශාලාවේ සාමාජිකයෝ වෙති.

මේ අතර නිෂ්පාදන අංශයේ එස්.ඒ. නිලංක Sri Lanka Cuisine category අංශයෙන් රන් පදක්කමත්, ආපන ශාලා අංශයේ ශෂි ප්‍රභා මේදාවිනී IDL Cocktail තරගයෙන් රන් පදක්කමත්,  නිෂ්පාදන අංශයේ  ජගත් සමරසිංහ  Flambe Deserts තරගයෙන් රන් පදක්කමත් දිනා ගත්හ. 

සම්පත් දනන්ගල, දිනේෂ් පරණමාන, පාලිත පෙරේරා, ප්‍රසන්න නවරත්න, වසන්ත කුමාර ඇල්පොන්සෝ, සමීර සමරකෝන්, ඉෂාර ජයවර්ධන සහ ඉන්දික වික්‍රමසේකර රිදී පදක්කම් දිනා ගත්හ.

සම්පත් දනන්ගල, දිනේෂ් පරණමාන, රංග වික්‍රමාරච්චි, රුවන් සිල්වා, චමින්ද වික්‍රමසිංහ, හර්ෂ ගයාෂාන්, හර්ෂ දිලුෂාන්, යෝෂාන් චතුරංග සහ රාජිත ගුණවර්ධන ලෝකඩ පදක්කම් දිනා ගත්හ.