2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

සිංගර් හා සැම්සුන්ග් දස වසරක සහයෝගීතාව සමරයි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගම වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සැම්සුන්ග් සමාගම සමඟ තම ව්‍යාපාරික සහයෝගීතාවයේ දසවැනි සංවත්සරය ඉකුත් දා සමරනු ලැබීය. මෙම සුවිශේෂී මොහොත සමරමින් සියලුම සිංගර් ප්‍රදර්ශනාගාරවලදී සැම්සුන්ග් නිෂ්පාදන සඳහා සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රුසක් ලබාගැනීමේ හැකියාව පසුගියදා උදාවිය.

රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකථන, රෙදි සේදුම් යන්ත්‍ර, මයික්‍රෝවේව් අවන් හා වායු සමීකරණ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන පෙළක් සමඟින් සිංගර් දිගු කාලයක් පුරා ප්‍රසිද්ධියට පත්ව සිටී. මෙම නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන්නේ, උසස් දෘශ්‍ය තාක්ෂණයෙන් සමන්විත සැම්සුන්ග් QLED රූපවාහිනී පෙළ ය.

QLED රූපවාහිනී පෙළ නිර්මාණය කරඇත්තේ ක්වන්ටම් ඩොට් තාක්ෂණය යොදාගනිමිනි. එමගින් ආලෝකය වඩාත් සුපැහැදිලි රූප බවට පෙරළමින් 100%ක්ම රූප නිරවද්‍යතාවයෙන් යුත් දෘශ්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සමීප කරයි. එක එල්ලේ නොසිට වුව පැහැදිලිව රූපවාහිනී නැරඹීමේ පහසුව, දිවා රාත්‍රී දෙකෙහිදීම දීප්තිමත් රූපරාමු හා දැකුම්කළු නිමාව ඇතුළු බොහෝ දෑ එහි අඩංගුය.

සිංගර් - සැම්සුන්ග් සහයෝගීතාවයේ සැමරුම වෙනුවෙන් සෑම නවීන QLED රූපවාහිනියක් මිලදී ගැනීමේදීම සැම්සුන්ග් S8 ජංගම දුරකතනයක් නොමිලේ හිමිවුණු අතර අඟල් 50 M කාණ්ඩයේ ස්මාට් රූපවාහිනියක් මිලදීගැනීමේදී රුපියල් 50,000ක වට්ටමක් ද සැම්සුන්ග් ශීතකරණ මිලදීගැනීමේදී රුපියල් 65,000 දක්වා වට්ටම් ද හිමිවිය.

“සිංගර් හා එක්ව විකුණුම් ක්ෂේත්‍රයේ මෙවන් වර්ධනයක් අත්කර ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. මේ සහයෝගීත්වයේ දසවැනි සංවත්සරය සමරන අවස්ථාවේදී ඉදිරියටත් එක්ව කටයුතු කිරීම තුළින් මහඟු ප්‍රතිඵල ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සැම්සුන්ග් ඉන්ඩියා ඉලෙක්ට්‍රොනික්ස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී එච්.සී. හොන්ග් මහතා පැවසීය. 

සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “ලෝකයේ ප්‍රධානපෙළේ සන්නාමයක් වන සැම්සුන්ග් සමාගම සමඟ දශකයක ව්‍යාපාරික සබඳතාවක් ගොඩනඟා ගැනීම පිළිබඳ අපි මහත් සතුටට පත්වෙනවා. සැම්සුන්ග් සමාගම සතු ලොව උසස්ම මට්ටමේ තාක්ෂණය සහිත නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛ තේරීමක් වී තිබෙනවා. සිංගර් සතු පුළුල් බෙදාහැරීමේ ජාලයත්, සුවිශේෂී පාරිභෝගික සේවාවත්, ශ්‍රී ලංකාව තුළ සැම්සුන්ග් නාමය වසරින් වසර වර්ධනය වීමට විශාල හේතුවක් වී තිබෙනවා”.