2017 ජුලි 08 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මාර්ගගත සජීවි වෙන්දේසි ද්වාරය ඇරඹෙයි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී වරලත් වෙන්දේසිකරුවන් වන ෂොක්මන් සහ සමරවික‍්‍රම සමාගම සිය ව්‍යාපාරයේ දීර්ඝ ගමන් මගෙහි 125 වසර අභිමානයෙන් සමරයි. මෙම වෘතාන්තය ආරම්භවූයේ හැටන්හි වැවිලිකරුවකු නුවරඑළියේ තුරඟ තරග පිටියේදී ටකර්ස් / මිලර්ස්හි අලෙවි කළමනාකරු ෂර්ලි සමරවික‍්‍රම මුණගැසුණු අවස්ථාවේදී වෙන්දේසි ව්‍යාපාරයක් ඇරඹීම පිණිස පැවති මහත් අභිලාෂය මල්ඵල ගැන්වීමෙනි. මෙම වැදගත් ව්‍යාපාරික කටයුත්තෙහි ආරම්භය සැමරීම පිණිස පෙරමුණ ගෙන සිටින්නෝ සමරවික‍්‍රම පවුලේ තුන්වැනි පරම්පරාව වන එඩ්වින්ද අල්විස් සමරවික‍්‍රමගේ සහ ෂර්ලි සමරවික‍්‍රමගේ මුණුපුරන්වන නවින්ද සහ අනුජය යි. ඔවුන් එහි www.shopandselllanka.lk සුවිශේෂී වෙන්දේසි ද්වාරය හරහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සජීවි වෙන්දේසි අඩවිය එළිදක්වමින් මෙම ව්‍යාපාරය 21 වැනි ශතවර්ෂයේ ඉහළ තලයට ඔසවා ඇත. 

අගෝස්තු මාසයේ සිට සජීවි වෙන්දේසි පැවැත්වීමට විධිවිධාන යොදා ඇති මෙම ද්වාරය නියත ලෙස ශ‍්‍රී ලංකාවේ වෙන්දේසි කර්මාන්තයෙහි විප්ලවයක් ඇති කරනු ඇත. මෙම ද්වාරය මගින් සේවාලාභීන්ට මෝටර් රථවල සිට ගෘහ භාණ්ඩ, පෞරාණික භාණ්ඩ, ස්වර්ණාභරණ, කලා නිර්මාණ සහ දේපොල දක්වා වෙන්දේසියට ඉදිරිපත් කර ඇති භාණ්ඩ සහ වෙනත් දේ පරීක්‍ෂාකර බැලීමට සහ සජීවීව යථා කාලයේදී ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

නොබෝදා පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම සොහොයුරෝ දෙදෙනා චිත්තාකර්ෂණීය ඉතිහාසය සිහිපත් කරමින් මෙය අද ඉතා ප‍්‍රබල ශක්තිසම්පන්න ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇති බවත් එමගින් ෂොක්මන් සහ සමරවික‍්‍රම සමාගම වෙන්දේසිකරුවන් වශයෙන් පමණක් නොව දේපළ වෙළඳ නියෝජිතයන් සහ තක්සේරුකරුවන් වශයෙන්ද අග‍්‍රස්ථානයට වර්ධනය වී ඇති බවත් පැවසූහ. කළමනාකාර හවුල්කරුවන නවින්ද සමරවික‍්‍රම මහතා මෙසේ කියයි. 

මෙම ව්‍යාපාරය ගොඩනගන ලද්දේ  මගේ සීයා සහ ෂොක්මන් මහතා අතර වෙන්දේසි ව්‍යාපාරයක් ඇරඹීමට අන්‍යොන්‍ය වශයෙන් තිබූ මහත් ළැඳියාව මත වන අතර ඔවුන් ඇතිකරගත් හවුල්කාරීත්වය ශ‍්‍රී ලංකාවේ වෙන්දේසි ව්‍යාපාරයේ ආරම්භය පිණිස පදනම වැටිණි. මෙය සරලව සඳහන් කළ හැකි වෙන්දේසි කිරීමක් නොවන අතර එය විශ්වාසය. උසස් තත්ත්වය සහ ප‍්‍රබල සම්බන්ධතාවක් ගොඩනැගීමක් ගැන කතා කරන ව්‍යාපාරයකි. එඩ්වින් සමරවික‍්‍රමගේ පුතුන් වන ලොයිඩ්, ඩෙරික් සහ කාර්ල් මෙම ව්‍යාපාරය එහි මහනුවර පැවති මූලස්ථානයේ සිට කොළඹට ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වූ ඉදිරිදැක්ම සැකසූවෝ වෙති.

නවින්ද සිහිපත් කරන පරිදි ෂර්ලි සමරවික්‍රම මහතා දුරදක්නා නුවණින් යුත් පුද්ගලයෙක් විය. මගේ පියා මෙයටම උපන් අතිදක්‍ෂ වෙන්දේසිකරුවෙකි. 1955 දී ඔහු මෙම ව්‍යාපාරයට පිවිසීමේ සිට ඔහු මෙම ව්‍යාපාරයේ නියැලි අඩසියවසක කාලය තුළ මෙම ව්‍යාපාරය වඩාත් ව්‍යාප්ත වෙළඳාමක් බවට පත්කිරීමට සමත්විය. වෙන්දේසි මන්දිරයට දැන් අතිරේක ප‍්‍රධාන වෙන්දේසි අලෙවි මධ්‍යස්ථානයක් කොළඹ 5 හි අරඹා තිබේ. සේවාලාභින්ට මෙම ස්ථානයට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට හෝ මනාපය පරිදි වෙන්දේසියකට සහභාගිවීමට හැකිය.

ප‍්‍ර‍්‍රකට ප‍්‍රසිද්ධියක් උසුලන මෙම ව්‍යාපාරය ගොඩනගා ඇත්තේ උසස් තත්ත්වයෙන් වෘත්තීය වේදීත්වයෙන් ආචාර ධර්මවලට ගරුකරමින්  විවෘතභාවයෙන්  විශ්වාසවන්ත අයුරින් සහ පුද්ගලිකව අයිතිය හිමි සේවාවක් සැපයීමක් මතය. එමගින් මෙම සමාගම දකුණු ආසියාවේ  සහ ශාන්තිකර කලාපයේ වෙන්දේසිකරණය, තක්සේරුකරණය සහ දේපල තැරැව්කරණය සඳහා වන ISO සහතිකය දිනාගත් පළමුවැනි සමාගම බවට පත්විය. මෙම සමාගම  Australia and  Cushman & Wakefield ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති දේපල වෙළෙඳ සමාගමේ සමග හවුල්කාරිත්වයන් ගොඩනගා ගෙන ඇත.

හවුල්කරු / ප‍්‍රධාන විධායක නිලධාරී අනුජ සමරවික‍්‍රම මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. අප විශේෂඥතාවක් ප‍්‍රගුණ කරගෙන ඇති විවිධ අංශවලට භාණ්ඩ ප‍්‍රදර්ශනය සමග වෙන්දේසිකිරීම සහ තක්සේරුකරණයද ඇතුළත්. වෙළඳපොළෙහි අත්දැකීම් බහුල සහ සුදුසුකම්වලින් සපිරි ආයතනයක් වශයෙන් දැන් අපගේ ආයතනය විදේශ දූතමණ්ඩල, රාජ්‍ය නොවන සංවිධාන විවිධ පුද්ගලයන් සහ පුද්ගලික අංශයේ මනාපය දිනාගත් වෙන්දේසිකරු ලෙස අචල ලෙස ස්ථාපිත වී සිටී. මෙයට නිශ්චල සහ චංචල දේපල තක්සේරුවද ඇතුළත්ය. ඇත්ත වශයෙන්ම වාහන වෙන්දේසි සඳහාද අප සතු ශක්තිය  මනාව පෙන්නුම් කරමින් අපි මාසිකව 300 සිට 400 දක්වා වාහන සංඛ්‍යාවක් වෙනුවෙන් වාර්ෂිකව යටත්පිරිසෙයින් වාහන වෙන්දේසි 100ක් පමණ පවත්වමු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00