2017 ජුනි 10 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ පළමු වරට ලොව සුපතල HUGO BOSS වෙළෙඳ නාමය අබාන්ස් වෙතින්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

කීර්තිමත් අබාන්ස් ව්‍යාපාර සමූහයට අයත් අබාන්ස් PLC සමාගම ලොව සුපතල HUGO BOSS වෙළෙඳ නාමය පළමු වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදෙන ලදී. මේ අනුව ලොව උසස් ජීවන රටාවන්වලදී භාවිතයට ගැනෙන සුඛෝපභෝගී දිවියකට මඟ  කියන විශිෂ්ටතම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සමීප කරවීමේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අබාන්ස් සමාගම සමත්ව සිටියි.

නවතම BOSS අලෙවිසල ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි විවෘත කරමින් අබාන්ස් සහ HUGO BOSS අතර සහයෝගීතාවයෙන් දේශීය පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන සමීප කරවනු ඇත. මෙම වෙළෙඳ නාමයන් දෙකම ජාත්‍යන්තරව සහ දේශීය වෙළෙඳපොළ තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පුරෝගාමී නාමයන් බවට ප්‍රකටව සිටියි.

ලොව අලුතෙන් පිබිදෙන රටවල් ලෙස හැඳින්වෙන මියන්මාරය, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව වැනි රටවල්වල වෙළෙඳපොළවලට පිවිසෙමින් එම රටවල වෙළෙඳපොළවල සුවිශේෂී කොටසක් අත්පත් කරගැනීමට HUGO BOSS විසින් කටයුතු කර ඇත. අබාන්ස් සමාගම වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පුළුල් පරාසයක ක්‍රියාත්මක වෙමින් සිටින දිවයිනේ ප්‍රමුඛතම සමාගමකි.

ලොව ඉහළම තත්ත්වයේ අතිනවීන විලාසිතාවන් ලබාගැනීම සඳහා බොහෝ විට විදේශ රටවලට යාමට දේශීය පාරිභෝගිකයන්ට සිදුවුවත් අලුතෙන් විවෘත වූ BOSS අලෙවිසල නිසා ලොව ඕනෑම තැනකින් ලබාගත හැකි ඉහළම ප්‍රමිතියේ හොඳම ඇඟලුම් සහ ආයිත්තම් ශ්‍රී ලංකාව තුළදීම ලබාගැනීමට හැකිවනු ඇත. මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවකට ඔබින ඇඟලුම් කැමති පරිදි තෝරාගැනීමේ හැකියාව මෙහිදී හිමිවනු ඇත.

අබාන්ස් සහ HUGO BOSS අතර සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වා සිටි අබාන්ස් සමාගමේ නියෝජිතයකු පවසා සිටියේ ජාත්‍යන්තරයේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයක් සමගින් අත්වැල් බැඳගන්නට ලැබීම වටිනාකම් රැසක් සිය සමාගමට අත්කර දීමට සමත් වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ මුල් වරට විවෘත වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ විලාසිතාගාරය නිසා අබාන්ස් සතුව සිටින පාරිභෝගික කොටසට ලොව ඉහළම තත්ත්වයේ විලාසිතාවන්ගේ විවිධත්වය අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇති බවට අබාන්ස් නියෝජිතයා වැඩිදුරටත් පවසා සිටින ලදී.