2017 මැයි 27 වන සෙනසුරාදා

ලිට්රෝ ගෑස් වෙතින් ගරු අම්මාවරුන් වෙනුවෙන්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

දේශය වෙනුවෙන් උරදෙන අම්මාවරුන්හට නිසි ගෞරවය ලබාදෙමින්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මෙරට මවුවරුන් උදෙසා ගරු අම්මාවරුන් වෙනුවෙන් වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. මෙම වැඩසටහන යටතේ, දිවයින පුරා විසිරී සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මවුවරුන්හට තමන් පළමු වරට මිලදී ගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරය (කි.ග්‍රෑ 12.5 හෝ කි.ග්‍රෑ 5) සමඟ ගෑස් උඳුනක් සහ ඉවුම්-පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග නොමිලයේ ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරයි. පසුගිය 18 වනදා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පැවති උළෙලකදී එම වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

තමන්ගේ දරුවන්හට සතුටින් ජීවත් විය හැකි සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම සඳහා අම්මාවරුන් දක්වන කැපවීම ලොව කිසිවකටත් සම කළ නොහැකියි. සමාජය ඉදිරියට ගමන් කරවන බලවේගය අම්මාවරුන්ගේ එම අසමසම ශක්තියයි. ජාතික ලිපගිනි සැපයුම්කරු ලෙස අප, වඩාත් පහසු ඉවුම්-පිහුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් ඔවුන්ගේ ජීවන මෙහෙවරට යම් සවියක් වීමට තීරණය කළා යනුවෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා සඳහන් කළේය.

ගරු අම්මාවරුන් වෙනුවෙන් වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් පළමු ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී නොමිලයේ හිමිවන ගෑස් කුකරය සහ අනෙකුත් උපාංග තමන් සතු කර ගන්නා ලෙස ලිට්රෝ ගෑස් සමාගම සමස්ත ශ්‍රී ලාංකික අම්මාවරුන්ට ආරාධනා කරයි. සිය ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, විවාහ රෙජිස්ට්‍රාර් හෝ තමන් සේවය කරන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යන ඕනෑම අයකුගෙන් නිර්දේශයක් ඉදිරිපත් කිරීමට හැකි ඕනෑම මවකට මෙම ප්‍රතිලාභ හිමිකර ගත හැකි බවද එම සමාගම පවසයි. 

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන මවුවරු බොහෝ විට ඉවුම්-පිහුම් කටයුතු සඳහා දර භාවිත කරති. දර සපයා ගැනීමටද ආහාර පිසීමටද අධික කාලයක් ගතවන අතර දර දහනය මගින් පිටවන දුම හේතුවෙන් විවිධ සෞඛ්‍යමය ගැටලුද ඇති වේ. මෙම වැඩසටහන හරහා දිනපතා පවුලේ ආහාර පිසීමේ වගකීම උර මත දරා සිටින ශ්‍රී ලාංකික අම්මාවරුන් අතර ගෑස් උඳුන ප්‍රවර්ධනය කිරීමත්, එමගින් ඔවුන් හට යම් අස්වැසිල්ලක් ලබාදීමත් ලිට්රෝ ගෑස් සමාගමේ අරමුණයි.

සම්ප්‍රදායික දරවලට වඩා එල් පී ගෑස් භාවිතය වඩාත් පහසු බැවින් මවුවරුන්ගේ ඉවුම්-පිහුම් කටයුතු කඩිනමින් ඉටු කර ගත හැකි වනවා. ඉවුම්-පිහුම් කටයුතුවලට අමතරව මෙරට අනාගතය බාර ගැනීමට සූදානම්ව සිටින දූ දරුවන්ගේ ඉදිරි ගමන සවිබල ගැන්වීමටද අඛණ්ඩව වෙහෙසෙන මවුවරුන්හට මෙම වැඩසටහන යම් සහනයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි යයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ / ආයතනික සම්බන්ධතා කටයුතු අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේය.