2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ඩිල්මා වසර 27 ක ශක්තිමත් බැඳීම සමරයි

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

අඩි 40,000 ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමග එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර 27ක දැඩි බැඳීම පසුගියදා උත්කර්ෂවත්ව සමරන ලදී.

මෙම සම්භාවනීය අවස්ථාව A380 ගුවන් යානය තුළ තිබෙන විවේකාගාරය On-board Lounge තුළදී පැවැත්වුණු අතර ඒ සඳහා ඩිල්මා ටී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ඩිල්හාන් ප‍්‍රනාන්දු මහතා සහ ඩිල්මා ටී සමාගමේ සමාරම්භක, මෙරිල් ජේ. ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙසැම්බර් 15 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර ගුවන තුළ මෙවැනි වැඩසටහනක් පළමු වතාවට පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.

ගුවන් මගීන්ට සහ ලොව පුරා පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරවලදී අග‍්‍රගණ්‍යයේ තේ පිළිගැන්වීම සඳහා එමිරේට්ස් සහ ඩිල්මා වසර ගණනාවක් පුරා අත්වැල් බැඳගෙන තිබේ. අද වනවිට, එමිරේට්ස් විසින් සියලු දෙනාගේ රසට ගැලපෙන පරිදි ඩිල්මා තේ වර්ග 12ක් පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙන අතර මේ අතරට එමිරේට්ස් ගුවන් යානා තුළ පිළිගන්වන විශේෂ ඩිල්මා තේ වර්ගයද ඇතුළත් වේ.

‘ආහාර සහ පානවල ඉහළම ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරමින් ගෝලීය තත්ත්වයේ ආහාර සත්කාරයක් ගුවන් යානා තුළදී මගීන්ට ලබාදෙන්න අප කැපවී සිටිනවා. අපි විසින් වසර 27ක් පුරා ගුවන් මගීන්ට ඩිල්මා තේ ලබාදෙන්නේ ඉතාමත් ආඩම්බරයෙන් යුක්තවයි. එමගින් අපි ගුවන් මගීන්ට සුවිශේෂී වූ තේ අත්දැකීමක් ලබාදීමට සමත්වී තිබෙනවා,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් එමිරේට්ස් සමාගමේ කේටරිං අංශයේ උප සභාපති, ඩැරන් බොට් මහතා පැවසීය.

මීට අමතරව, EK31 ගුවන් යානය තුළ ගමන්ගත් මගීන්ටද ලෝකයේ අග‍්‍රගන්‍ය ෆ්ලෙයාර් බාර්ටෙන්ඩින් සංදර්ශනයක් නැරඹීමේ අවස්ථාව හිමිවූ අතර එය පැවැත්වූයේ ෆ්ලෙයාර් බාර්ටෙන්ඩර් ශුරයකු වූ ටොමෙක් මලෙක් මහතායි. ඔහු විසින් ගුවන් මගීන්ට රස බැලීම සඳහා Dilmah Elixir නැමති රසවත් පානය සකසා මෙහිදී පිළිගන්වන ලදී.

ඩිල්මා ටී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ඩිල්හාන් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අප උත්සාහ කරන්නේ එමිරේට්ස් මගීන්ට සුවිශේෂී වූ තේ සත්කාර අත්දැකීමක් ලබාදෙන්නයි. මේ සඳහා අප විසින් එමිරේට්ස් සංස්කෘතික උරැමය සමඟ බැඳුණු රස සහ අමුද්‍රව්‍ය භාවිත කරනවා. අපි එමිරේට්ස් සමඟ එක්ව ගුවන් මගීන්ට මුදලට ලබාගත නොහැකි අතිවිශිෂ්ට තේ මිහිරක සුවිශේෂී අත්දැකීමක් අඛණ්ඩව ලබාදෙනවා.

එමිරේට්ස් විසින් සිය ගුවන් මගීන් වෙනුවෙන් දීර්ඝකාලීන ඒකාබද්ධතාවයන් සමඟ ලෝකයේ අතිවිශිෂ්ට නිෂ්පාදන පිළිගන්වන අතර ඒ සඳහා දේශීය සැපයුම්කරැවන් සහ නිර්මාණකරුවන් සඳහා සහයෝගය ලබාදෙයි. එමිරේට්ස් සහ ඩිල්මා බැඳීම 1992 වසරේ ආරම්භ වූ අතර මේ වනවිට ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් ඩිල්මා තේ මහාද්වීප හයක ගමනාන්ත 140 ක් වෙත මේ වනවිට රැගෙන යයි.