2017 මාර්තු 04 වන සෙනසුරාදා

වයස 6ක කුඩා දරුවකුට අබාන්ස් අතහිත

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

කුලියාපිටියේ පදිංචි වයස අවුරුදු 6ක කුඩා පිරිමි දරුවකුට සමාජයේ පැවති දුර්මතයක් නිසා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි වීඹට ගිය පුවතක් පසුගිය සමයේ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. දරුවාගේ මවුපියන් එච්.අයි.වී ආසාදිතයින් බවට පැතිරී ගිය ප්‍රචාරයන් නිසා දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා ලෙසට සමාජයෙන් විවිධාකාර බලපෑම් එල්ල වූ අතර ඒ අනුව එම දරුවාට මහත් අසාධාරණයක් සිදුකරමින් පාසල් අධ්‍යාපනය අහිමි කෙරිණි. 
වෙනත් පාසලක් සඳහා දරුවා ඇතුළත් කර ගැනීමට විවිධ උත්සාහයන් සිදු කෙරුණද එය සිදුකර ගැනීමට නොහැකි විය. 

මෙම පුවත ජාතික පුවත්පත් සියල්ලකම පාහේ ප්‍රධාන පුවතක් ලෙස පළ කෙරුණු අතර දරුවාගේ මව දරුවාට සුදුසු පාසලක් ලබා දෙන ලෙස ඉල්ලමින් කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරිපි උපවාසයක නිරත විය. මෙම සිදුවීම රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සමාජයේ වගකිව යුතු පිරිසකගේ අවධානයට ලක් වූ අතර පාසල් සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය විසින් දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
මධ්‍යම පළාතේ කීර්තිමත් විද්‍යාලයක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් පිරිසක් ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා සමග සාකච්ඡා කර දරුවා එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. මේ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපකාරය ඇතිව දරුවාගේ සියලු අධ්‍යාපන වියදම් පාසල මඟින් දරනු ලබන බවට එකඟතාවයෙන් පාසලට ඇතුළත් කර ගැනීම සිදුවිය.

අර්ථවත් සමාජ සත්කාරක සේවාවන් සිදු කිරීමට කවදත් කැප වී සිටින අබාන්ස් සමාගම දරුවාගේ පවුලේ අයට දරුවා අධ්‍යාපන හදාරන මහනුවර ප්‍රදේශයෙන්ම නවාතැන් ගැනීමට නිවසක් කුළියට ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය උපකාර සිදුකරන ලදී. පසුගිය වසර සඳහා සම්පූර්ණ නිවාස කුලියත් මේ වසර සඳහා සම්පූර්ණ නිවාස කුලියත් අබාන්ස් සමාගම විසින් ලබාදෙන ලදී. ඒ සඳහා අදාළ චෙක්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත අබාන්ස් PLC කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටොන්ජි මහතා විසින් බාර දීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදුවිය.

අබාන්ස් PLC කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටොන්ජි මහතා විසින් අදාළ චෙක්පත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට බාරදුන් අවස්ථාව ඡායාරෑපයෙන් දැක්වේ. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අබාන්ස් PLC, IT අංශයේ සාමාන්‍යාධිකාරි චතුර ජයවර්ධන සහ ඉන්දික ද සොයිසා යන මහත්වරු එක් වූහ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00