2019 ජුනි 15 වන සෙනසුරාදා

බෝම්බ ප‍්‍රහාරවලින් පීඩාවට පත් ශිෂ්‍යයන්ට පොත් ප‍්‍රකාශකයන්ගේ සහාය

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කොළඔ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගිය සතියේ මුණගැසුණු අතර, අප්‍රේල් 21 පාස්කු ඉරුදින දේවස්ථාන 3 හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් වූ දරුදැරියන් වෙනුවෙන් රු. 450,000/- ක මුදලක් උන්වහන්සේ වෙත පරිත්‍යාග කරන ලදී. මීට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන තුරැ සංගමය මගින් සිසුන් 6 දෙනෙකූට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන බවද කාදිනල්තුමාට දැනුම්දෙන ලදී.

ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ප‍්‍රකාශ කළේ සැමගේ සිත් සතන් සුවකිරීම, සන්සුන් කිරීම සහ සාමය උදාකරලීම සඳහා ඔබවහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය තුළින් ගන්නා ලද ක්‍රියාමාර්ග, පුරවැසියන් වශයෙන් අපට ගැඹුරින් පහදා දී ඇත්තේ විනාශය හා ව්‍යසනය මධ්‍යයේ නිරවුල් මනසක් තබාගන්නා ආකාරය පිළිබඳවයි. අන් අයව වරදට හසුකර ගැනීම වෙනුවට විසඳුම් සොයාගත හැකි ආකාරය එයින් පෙන්වා දී ඇත.

අරමුදල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් සිය ප‍්‍රණාමය ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය වෙත පුද කළ කාදිනල්තුමා කියා සිටියේ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත්වූ දරුවන් 170ක් පමණ සිටින බවය. උන්වහන්සේ එම අවස්ථාවේ දී සඳහන් කළේ තමන්ට පෙර රට ගැන සිතන දේශප්‍රේමීන් දැන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රතිරෑපය කෙළෙසීම හා විනාශ කිරීම ගැන සිතමින්, තම ජන්ද ප‍්‍රතිශතය වැඩිකර ගැනීම කෙරෙහි පමණක් උනන්දුවක් දක්වන පිරිස් කාඩ්බෝඩ් විරුවන් ලෙස උන්වහන්සේ හැඳින්වූ අතර එම විනාශකාරී පිරිස්වල ක්‍රියාකලාපය හෙළා දුටුවේය.