2019 ජුනි 15 වන සෙනසුරාදා

මොබිටෙල්, M3-ෆෝස් එක්වීමෙන් විශාලතම අධීක්ෂණ සහ ප‍්‍රතිචාර මධ්‍යස්ථානයක්

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම අධීක්ෂණ සහ ප‍්‍රතිචාර මධ්‍යස්ථානය. MnR දියත් කිරීම සඳහා M3 -ෆෝස් (M3Force) ආයතනය සමඟ අත්වැල් බැඳගනී. මේ මගින් පූර්ව සහ පශ්චාත් ගැටලු තත්ත්වයන් වළක්වා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ සහ බුද්ධිමත් ආරක්‍ෂිත පිළියම් ලබාගැනීමේ හැකියාව සිය ගනුදෙනුකරැවන්ට ලබාදේ. නිවැරදි ප‍්‍රවීක්‍ෂණයන් කිරීම අද පවතින අවශ්‍යතාවය වන අතර ඒ සඳහා පුහුණු මානව සම්පත්වල ඇති හිඟය නිසා ඇතිවන අපහසුතා වළක්වා ගැනීම සඳහා තාක්‍ෂණිකව බලගැන්වූ ප‍්‍රවීක්‍ෂණ පද්ධතීන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී. මෙම අවස්ථාවේ පවතින වැඩිවන ඉල්ලුමට ප‍්‍රතිචාර දැක්වීම සඳහා, මේ මොහොතේ ඇතිවන සියලු ආකාරයේ හදිසි අවස්ථාවන්ගෙන් ජනතාව සහ දේපොල ආරක්‍ෂාකර ගැනීම අද ලෝකයේ ප‍්‍රමුඛතාවයක් වී ඇත. 

අධීක්ෂණ සහ ප‍්‍රතිචාර මධ්‍යස්ථානය (MnR) වාණිජ, සංස්ථාපිත පරිශ‍්‍රයන් සහ වාසස්ථාන සඳහා සිදුකෙරෙන සේවාවක් වේ. එහිදී දේපොල අධීක්ෂණය ඒ සඳහාම වෙන්වූ මධ්‍යස්ථානයක් මගින් දුරස්ථව සිදුකෙරෙන අතර කිසියම් ආකාරයක ආරක්‍ෂාව කඩවීමක් හෝ තර්ජනයක් දැනගත් වහාම මනා පුහුණුවක් ලබා සිටින අධීක්ෂණ සහ ප‍්‍රතිචාර කාර්ය මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඉක්මන් ප‍්‍රතිචාරයන් දක්වනු ලැබේ. මෙම තර්ජනයන්ට බාධා ඇතිකරමින් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ දේපොල ආරක්‍ෂා කිරීම සඳහා සිදුකෙරෙන මෙම ප‍්‍රතිචාර සේවාව තාක්‍ෂණය, මිනිස් ශ‍්‍රමය සහ අනෙකුත් යාන්ත‍්‍රණයන්ගේ ඒකාබද්ධ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් වනු ඇත.

අධීක්ෂණ සහ ප‍්‍රතිචාර විසඳුම් ලබාදීම සඳහා අනවසරයෙන් සහ බලහත්කාරයෙන් ඇතුළු වන්නන්, හැසිරීම්වල වෙනස්කම්, පාරිසරික වෙනස්වීම් සහ සංචරණ වෙනස්වීම් සොයාගෙන ඒවා සඳහා කලින්ම විසඳුම් ලබාදීම පිණිස ගැඹුරු අධ්‍යයනයන්, යාන්ත්‍රික අධ්‍යයනයන් සහ කෘත්‍රිම බුද්ධිය සංකලනය වූ ඒකාබද්ධ වීඩියෝ විශ්ලේෂණ විසඳුම් යොදාගනු ලැබේ. MnR මධ්‍යස්ථානය මගින් ලබාදෙන සේවාවන් අතර පරිශ‍්‍රය තුළ සිදුකෙරෙන දැනුම්දීම්, අනතුරු ඇඟවීම්, ස්වයංක්‍රීය වසාදැමීම්, හදිසි දැනුම්දීම් සහ භට කණ්ඩායම් කැඳවීමේ සේවාවන්ද ඇතුළු තවත් බෙහෝ සේවාවන් ඇතුළත් වේ. 

මොබිටෙල් ව්‍යාපාරික සේවාවන් තුළ සිය ගනුදෙනුකරැවන්ගේ ලාභදායීත්වය වැඩිකර ගැනීම සඳහා නවීන තාක්‍ෂණය සහ මෙවලම් භාවිතයට ඔවුන් බලගන්වන අතරම ඔවුන්ට තාක්‍ෂණික වේදිකාවන් තුළින් සේවා ලබාගැනීමටද හැකියාව ඇති කරවනු ලැබේ.