2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් 54 වන CA Sri Lanka වාර්ෂික වාර්තා විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

මෙරට මූල්‍ය ආයතන අතර සිය අභිමානය තවදුරටත් පිළිබිඹු කරමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනය 54 වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික වාර්තා විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සහ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2018 දෙසැම්බර් මස 4 වැනිදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර සමාගම්වල මූල්‍ය අනාවරණ කිරීම, ප්‍රමිතිගත කිරීම, සමාගම්වල මූල්‍ය කාර්යසාධන අනාවරණය සහ ඇගයීම් සිදුකෙරේ.

වසර ගණනක් පුරා අඛණ්ඩව මෙම සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වූ එල්.බී. ෆිනෑන්ස් ආයතනය මෙවර සමස්ත මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් කාණ්ඩය යටතේ අඛණ්ඩව දෙවන වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඒකාබද්ධ වාර්තාකරණය: ප්‍රාග්ධන කළමනාකරණය පිළිබඳ විශිෂ්ටතම අනාවරණය සඳහා රිදී සම්මානය හිමිකර ගත්තේය.

පාර්ශ්වකරුවන් සඳහා සිදුකරන තොරතුරැ ඵලදායී සන්නිවේදනය ඇගයුමට ලක්කරන අතරම තරගකාරී සමාගම් අතර විනිවිදභාවය, වගවීම සහ යහපාලනය සඳහා මිනුම් ක්‍රමවේදයක් ඇති කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මෙම සම්මාන උළෙල සංවිධානය කිරීමේ මූලික අරමුණයි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා සඳහන් කළේ, අඛණ්ඩව දෙවන වරටත් රන් සම්මානය හිමිවීම විශාල ජයග්‍රහණයක් බවය. මෙම සම්මාන උළෙලේ ඇති දැඩි ප්‍රමිතීන් පිළිබඳ සැලකීමේදී මෙලෙස අඛණ්ඩව සම්මානයට පාත්‍ර වීම අපගේ පාර්ශ්වකරැවන් හට උපරිම වටිනාකමක් හිමිකර දී ඇති බව තහවුරැ වෙනවා. මෙවැනි සම්මාන මගින් ඇගයුමට ලක්වන්නේ තිරසර ව්‍යාපාරයක් සඳහා අප දක්වන දිගුකාලීන කැපවීමයි. අප ප්‍රජාවට මෙන්ම සියලු පාර්ශ්වකරුවන්ට ද සේවය සැලසීම හරහා වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රමවේද, යහපාලනය, විනිවිදභාවය සහ තිරසර වර්ධනය පිළිබඳ විශ්වාසය තබන ආයතනයක් වනවා.

සම්මාන උළෙලේ විනිශ්චය නිර්ණායක වසරින් වසර අඛණ්ඩව ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බැවින් මෙම උළෙලේ සම්මාන හිමිකර ගැනීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතීන් පවත්වාගත යුතු වේ. නෛතික අවශ්‍යතා සහ පිළිගත් ගණකාධිකරණ විශිෂ්ට ක්‍රමවේද පවත්වා ගැනීම සඳහා මෙම ප්‍රමිතීන් උපකාරී වන අතර ඒ හරහා ඵලදායී මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරැ අනාවරණය තුළ වාර්තාකරණයේ ස්ථාවරත්වයත් ඒ සඳහා ඇති කැපවීමත් මනාව පිළිබිඹු වේ.

පරිපූර්ණත්වය, සවිමත් ව්‍යාපාරික ආචාර ධර්ම සහ විනිවිදභාවය සමගින් වසර 47ක අභිමානවත් ඉතිහාසයකට උරැමකම් කියන එල්.බී. ෆිනෑන්ස් ආයතනය මෙරට රැ.බිලියන 120ක වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අතළොස්ස අතර රුඳෙන ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. 2018/19 මූල්‍ය වර්ෂයයේ පළමු මාස හය තුළ දැවැන්ත වර්ධනයක් පිළිබිඹු කරමින් එල්.බී. ෆිනෑන්ස් අයාතනය රු.බිලියන 4.5ක බදු පෙර මෙහෙයුම් ලාභයක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 3.4 සමඟ සැසඳීමේදී 31.7%ක වර්ධනයකි.

සිය පාරිභෝගික ජනතාව සඳහා ස්ථාවර සහ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන එල්.බී. ෆිනෑන්ස් ආයතනය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට අනුව සකසන ලද මූල්‍ය විසඳුම් හරහා අඛණ්ඩව සිය සේවා සඳහා අමතර අගයක් එක්කරයි. ඊට අමතරව පාරිභෝගිකයාගේ තීරණ සඳහා තීරණාත්මක ලෙස බලපාන නිරවද්‍ය සහ විනිවිදභාවයෙන් යුතු තොරතුරු සම්පාදනය කිරීම සඳහාද එම ආයතනය කැපවෙයි. යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා විශිෂ්ටතම ආර්ථික, පාරිසරික සහ සමාජ ක්‍රමවේද සංකලනය කිරීම එම ආයතනයේ දැක්මයි. සෑම පාරිභෝගිකයෙකුටම විසඳුම් ලබාගත හැකි ආකාරයේ තිරසර මූල්‍ය අවශ්‍යතා ඉටුකර දීමට එල්.බී. ෆිනෑන්ස් ආයතනය අදත්, හෙටත්, මතුවටත් ක්‍රියාකරනු ඇත.