2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මොබිටෙල් සහ LOLC වෙතින් සුවිශේෂී ඩිජිටල් මූල්‍ය ණය පහසුකම්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

සිය වෙළෙඳපොළ නායකත්වය තව තවත් බල ගන්වමින් සහ සිය පාර්ශ්වකරුවන් සමග පවතින සහයෝගිතාව තව තවත් ශක්තිමත් කරමින්, මොබිටෙල් විසින් LOLC Finance PLC සමග එකමුතුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට හඳුන්වා දෙනු ලබන ඩිජිටල් මූල්‍ය ණය පහසුකම (Digital Finance Loans) දියත් කර තිබේ. මෙම ඩිජිටල් ණය පහසුකම mCash ඔස්සේ ලබා ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව හිමිවේ. යම් කෙනෙකුට සිය ජංගම දුරකථනය භාවිත කරමින් ණය මුදලක් ලබා ගැනීමේ පහසුකම මෙම සුවිශේෂී, නවතම ක‍්‍රමවේදය මගින් පාරිභෝගිකයින් වෙත ලබා දෙයි. වඩාත් පහසු මෙන්ම කාර්යක්‍ෂම ඩිජිටල් මූල්‍ය විසඳුම් අපේක්‍ෂා කරනු ලබන පාරිභෝගිකයින්හට මෙම Digital Finance Loans (ඩිජිටල් මූල්‍ය ණය පහසුකම) ඉතාම සුවිශේෂී මූල්‍ය සේවාවක් සපයනු ඇත. 

මෙම ඩිජිටල් ණය පහසුකම හඳුන්වාදීම ශ‍්‍රී ලාංකේය මූල්‍ය සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ දැවැන්ත මෙන්ම ප‍්‍රමුඛතම සුවිශේෂී සංධිස්ථානයක් වන අතර ඓතිහාසික වශයෙන්ද වටිනා පියවරක් වෙයි. මෙමගින් ජංගම දුරකථන උපාංගයක් මගින් පහසුවෙන් ණයක් ලබා ගැනීම යථාර්ථයක් බවට පත් කරනු ලබයි. නවීනත්වයෙන් පිරි වර්තමාන ලෝකයට ගැලපෙන ආකාරයේ මූල්‍ය විසඳුම් පිරිනැමීම පිළිබඳ විශ්වසනීය නාමයක් වන LOLC Finance PLC සමාගම ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් (Non-Banking Financial Institution – NBFI) අතර දැවැන්තම මූල්‍ය ආයතනයකි. ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්හි සංකල්පයක් වන mCash විසින් ශ‍්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් සපයා දීම් ක්ෂේත්‍රය විප්ලවීය අයුරින් වෙනස් කරනු ලබන්නේ මූල්‍ය අන්තර්ගතය (Financial Inclusion) වැඩි කරමිනි. ජංගම දුරකථනයක් භාවිතයෙන් mCash ඔස්සේ විසින් පාරිභෝගිකයින් විසින් මූල්‍ය ගනුදෙනු සිදුකරනු ලබන ආකාරයට නව අරුතක් මොබිටෙල් විසින් ලබාදී තිබේ.                                                                

මෙම විප්ලවීය සේවාව පිළිබඳව අදහස් දක්වමින් මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ප‍්‍රකාශ කර සිටියේ: නවීනතම විසඳුම් සපයා දෙමින් සාම්ප‍්‍රදායික ගනුදෙනු ක‍්‍රමවේදයන් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඉතාම සුවිශේෂී මෙන්ම කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමට මොබිටෙල් කටයුතු කරනු ලැබූ අතර සිය වටිනා පාරිභෝගික ප‍්‍රජාව වෙත වැඩි පහසුවකින් යුතු සේවා අත්දැකීමක් අත්කර දීමට අඛණ්ඩව කටයුතු කරනු ලබන බවයි.