2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

එල් බී ෆිනෑන්ස් වෙතින් මාතර ත‍්‍රීරෝද රියැදුරන්ට ප‍්‍රථමාධාර පුහුණුව

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

සිය ආයතනික සමාජයීය සත්කාර ගමන් මඟෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් තබමින් එල්බී ෆිනෑන්ස් සමාගම ත‍්‍රිරෝද රථ රියැදුරන් සඳහා ප‍්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා විශිෂ්ට පුහුණු වැඩසටහන් පාර්ශවකරැවෙකු වන Besmart Solutions (Pvt) Ltd විසින් විශාල දායකත්වයක් ලබා දී තිබේ. ප‍්‍රථමාධාර ප‍්‍රතිකර්ම පිළිබඳව ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ දැනුම ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වූ අතර න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික දැනුමද ඔවුන් වෙත ලබාදෙන ලදී. හදවත් රෝගයක් ඇතිවූ අයෙකුට ලබා දියයුතු හදිසි ප‍්‍රථමාධාර පුහුණුව මෙන්ම සුරක්ෂිතව රෝගීන් රැගෙන යාම පිළිබඳ ත‍්‍රීරෝද රථ රියැදුරන්ට වැදගත් කරුණු රාශියක් මෙහිදී දැනගැනීමේ අවස්ථාව හිමි විය. ත‍්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමය සහ පොලිස් අධිකාරී කාර්යාලයෙහි රථවාහන පොලිස් ඒකකය සමඟ සහයෝගීතාවයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර සියයකට අධික ත‍්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් ඊට සහභාගී වූහ. මින් ඉදිරියටත් එල්බී ෆිනෑන්ස් සමාගම රටපුරාම මෙවැනි ආකාරයේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.  

2016 වර්ෂයේදී මාර්ග අනතුරු නිසා සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 3,003ක් වැනි ඉහළ අගයක් ගන්නා බව ශ‍්‍රී ලංකා පොලීසිය එළිදැක්වූ සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි. එවැනි අවස්ථාවල අනතුරට පත්වූවන්ගේ සහයෝගයට සහ ඔවුන්ව හැකි ඉක්මනින් රෝහල් කරා රැගෙන යාමට ඉදිරිපත් වන්නේ ත‍්‍රීරෝද රථ රියැදුරන්ය. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් සහිතව එල්බී ෆිනෑන්ස් සමාගම මාර්ග අනතුරු අවම කිරීම සඳහා මෙම සුවිශේෂී පුහුණු වැඩසටහන් මාලාව පැවැත්වීමට තීරණය කරන ලදී.  
එල් බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා මෙසේ පවසා සිටී.

හදිසි මාර්ග අනතුරු අවස්ථාවන්හිදී අනතුරට පත්වූවන්ගේ සහායට ඉක්මනින්ම ඉදිරිපත් වන්නේ ත‍්‍රිරෝද රථ රියැදුරන් බව අපි හොඳින්ම දන්නා කරැණක්. කෙසේ වෙතත් නිසි දැනුමක් සහ පුහුණුවක් නොමැතිකම නිසා හදිසි අනතුරුවලට ලක්වන පිරිස් රෝහල් වෙත රැගෙන යාමේදී විශාල ජීවිත අවදානමකට සහ විවිධ සංකූලතා ඇතිවීමට මුහුණපානවා. අනතුරකදී නිවැරදිව ප‍්‍රථමාධාර කටයුතු සිදුනොවීම ඊට ප‍්‍රධානතම හෙතුවයි. අපි මෙම පුහුණු වැඩසටහන හඳුන්වා දුන්නේ ප‍්‍රථමාධාර පුහුණුව ලබාදෙමින් ප‍්‍රථමාධාර පිළිබඳව ත‍්‍රීරෝද රථ රියැදුරන්ගේ දැනුම ඉහළ නංවමින් හදිසි අනතුරැවලට මුහුණපාන පිරිස්වල ජීවිත සුරුකීම සඳහායි. මාතර පැවැති මූලික වැඩසටහන නිසා ප‍්‍රායෝගික අවශ්‍යතා හඳුනාගැනීමට අපට අවස්ථාවක් ලැබුණු අතර අපේ ඉදිරි වැඩසටහන් ආකෘතියෙහි යම් වෙනස්කම් සිදුකිරීමටද හැකි වුණා. ඉදිරියේදී මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කරමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් 1000කට ආසන්න සංඛ්‍යාවක් වෙත විශිෂ්ට ප‍්‍රථමාධාර දැනුමක් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා.”  
මූලික පුහුණු වැඩසටහනට පුහුණු සැසි හතරක් අයත් වූ අතර තෝරාගත් ත‍්‍රීරෝද රථ රියැදුරන් 25 දෙනෙකු වෙත ප‍්‍රවීණ ප‍්‍රථමාධාර පුහුණු උපදේශකයෙකු යටතේ පුහුණුව ලබා දෙනු ලැබිණි.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00