2018 ජුලි 14 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් සහ Shangri-La වෙතින් හම්බන්තොට ප්‍රජාසත්කාරක වැඩසටහනක්

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares) ෂැංග්‍රිලා හම්බන්තොට ගොල්ෆ් රිසෝට්ස් ඇන්ඩ් ස්පා හෝටලය එක්ව දෙවැනි ගෝලීය සුව සත්කාරක දිනය 2018 (Global Wellness Day) වෙනුවෙන් හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වෛද්‍ය කඳවුරක් පසුගියදා පැවැත්වීය. 

මෙම වෛද්‍ය සායනය අතිශය සාර්ථක වූ අතර 300 කට වැඩි පිරිසක්  සායනයට පැමිණ සිටි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලදී. හම්බන්තොට සීතාරාම විහාරස්ථානයේ පැවති මෙම වෛද්‍ය සායනය සඳහා, එයට සහභාගී වූ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම එයට දායකත්වය ලබාදුන් සෑම දෙනාගෙන්ම ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලැබිණි.

මේ ආකාරයේ සායනයක් සංවිධානය කිරීමේ වැදගත්කම  පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුළාවල මහතා සඳහන් කළේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම සෑම විටම අවශ්‍යතාවන් ඇති ප්‍රජාවන්ට සහය ලබා දීමට උත්සාහ කරන බවයි. එසේම දිවයිනේ සෑම ප්‍රදේශයකම ජීවත්වන ජනතාවට වෛද්‍ය පහසුකම් සහ විශේෂඥ දැනුම ලබා දිය යුතු බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය. තවද සෞඛ්‍යාරක්ෂාව ඉහළ නැංවීම සඳහා දායකවීමට වගකිවයුතු සංවිධාන, රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතනවලට මෙම වැඩසටහන ආදර්ශයක් වනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

ආරම්භයේ සිටම Shangri-La ජාලය ආයතනික සමාජ වගකීම් වැඩසටහන් හරහා සමාජ වෙනස්කම් සිදුකිරීමට උත්සාහයන් දරමින් සිටීයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ෂැංග්‍රිලා හම්බන්තොට ගොල්ෆ් රිසෝට්ස් ඇන්ඩ් ස්පා හෝටලයේ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් සහ තිරසාර කළමනාකරු පාලින්ද පෙරේරා මහතා, සඳහන් කළේ  ජාලයක් වශයෙන් අපගේ ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් සෑම විටම සමාජමය වෙනසක් ඇති කළ හැකි ආදර්ශයක් සපයන බවයි. 
ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානයක් ලෙස, සෞඛ්‍ය සේවය නඟා සිටුවීම සඳහා සිය පාර්ශ්‍වයෙන් විශාල දායකත්වයක් ලබාදිය හැකි බව විශ්වාස කරන බවද හෙතෙම පැවසීය. එසේම ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග හවුල් වීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත්වෙන අතර මෙම සාමූහික ප්‍රයත්නයන් තුළින් තිරසාර සංවර්ධනයක් සඳහා ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි මාර්ගයක් සකස් කර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනෝමි ජයසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මෙම වෛද්‍ය කඳවුර සම්බන්ධීකරණය කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වෛද්‍ය නීලූකා අබේසේකර, උපදේශක අක්ෂි වෛද්‍ය නලීන් ගුණසිංහ මහතා, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව ශල්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෙද්‍ය නිලධාරී චූලා ගුණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක ගුවන් සේවා වෛද්‍ය ආචාර්ය බිමල් ඩයස් මහතා, මීගමුව මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිම රොද්‍රිගෝ යන වෛද්‍ය නිලධාරීහු මෙම වෛද්‍ය සායනය සාර්ථකව අවසන් කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥභාවය සහ දැඩි  කැපවීම ස්වේච්ඡාවෙන්ම ලබාදීමට ඉදිරිපත් වූහ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00