2018 ජුලි 07 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකාව කලාපයේ නාවික හා වාණිජ කේන්ද්‍රස්ථානයයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

ඉන්දියානු සාගර හා දකුණු ආසියා කලාපයේ නාවික හා වාණිජ කටයුතු සඳහා කේන්ද්‍රස්ථානය වී ඇති ශ‍්‍රී ලංකාව, තම ප‍්‍රතිනැව්ගතකිරීම් සඳහා මධ්‍යස්ථානය ලෙස ඉදිරියේදි පත්කරගන්නා බවට යුරෝපයේ ප‍්‍රමුඛතම ප‍්‍රවහන සේවා සපයන්නකු වන එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් සමූහය පසුගියදා ශ‍්‍රී ලංකාවේදී පැවසීය.

ඔබ සියලු දෙනා දන්නා පරිදි අප සිටින්නේ වැදගත් සන්ධිස්ථානයකයි. කොළඹ වරායේ බහලුම් සහ බඩු බාහිරාදිය මෙහෙයුම් ධාරිතාවය තවදුරටත් ව්‍යාප්ති කිරීම නාවික අංශයේ වර්ධනයට නිරතුරුව දායකත්වය සපයනවා. එක්සත් ජාතින්ගේ වෙළඳ හා සංවර්ධන සම්මේලනය මගින් ප‍්‍රකාශිත 2017 නාවික සම්බන්ධකතා දර්ශකයට අනුව දකුණු ආසියා කලාපයේ  හොඳම සමුද්‍ර  ප‍්‍රවාහන සම්බන්ධකතාවය සහිත රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති අතර ඉන්දියාව පවා පරදා ලෝකයේම 15 වන ස්ථානය අත්පත් කර තිබිම ඉමහත් සතුටට කරුණක්. 2025 වනවිට ශ‍්‍රී ලංකාව අංග සම්පූර්ණ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව කොළඹ වරාය මධ්‍යකොටගෙන ඉන්දියානු සාගර හා දකුණු ආසියා කලාපයේ ප‍්‍රතිනැව්ගතකිරීම් කටයුතු ශ‍්‍රී ලංකාව තුළ සහබද්ධ කොට වඩාත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු, යැයි එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලුම් ස්තේම්බු මහතා එම සමාගම ශ‍්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සවයේදී පැවසීය. ශ‍්‍රී ලංකාව හරහා එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් සමූහය, බටහිර හා නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව හා ඈත පෙරදිග රටවලට භාණ්ඩ ප‍්‍රවහනය කරයි.

මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා සහභාගි වූ අතර ආරාධිතා අමුත්තා හා එම් ඇන්ඩ් එම් මිලිට්සර් ඇන්ඩ් මුන්ච් නියෝජිතවරිය ලෙස ටටියානා ශේෆර් මහත්මිය සහභාගී වූවාය.