2018 ජුනි 16 වන සෙනසුරාදා

මොබිටෙල් mCash වෙතින් ශිෂ්‍ය ගාස්තු පහසුවෙන් ගෙවිය හැකි ක‍්‍රමයක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල් ආයතනය මොබිටෙල් mCash හරහා තවත් සේවාවක් සම්පාදනය කිරීම පිණිස ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගෙන ඇත.

mCash භාවිත කරන විවෘත විශ්වවිද්‍යාල සිසුන්ට දැන් mCash ජංගම මුදල් සේවාව හරහා තම ශිෂ්‍ය ගාස්තු ගෙවිය හැකිය. තම ජංගම දුරකථනය යොදාගෙන තම mCash ගිණුම හරහා විවෘත විශ්වවිද්‍යාලයට ඍජුව ගාස්තු ගෙවිය හැකි හෙයින් බැංකු හෝ වෙනත් ගෙවීම් ස්ථාන වෙත ගොස් පෝරම පුරවමින් කාලය ගත කිරීමට සිසුන්ට සිදු නොවේ.

මොබිටෙල් සමාගම සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ඇති කර ගැනුණු මෙම හවුල්කාරීත්වය නිසා සිසුන්ට mCash හරහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශ ගාස්තු, විභාග ගාස්තු සහ විශ්වවිද්‍යාලය ආශ‍්‍රිත වෙනත් ගාස්තු ඇතුළු විවිධ ගෙවීම් කළ හැකි ය. දැන් සිසුන්ට විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියට https://payment.ou.ac.lk/ හරහා සිය MYOUSL ගිණුමට මගින් කැමති ගෙවීම් ක‍්‍රමය ලෙස mCash තෝරා තම ගාස්තු හා විශ්වවිද්‍යාල වියදම් ගෙවිය හැකිය.

කොතැනක ජීවත්වුවත් කුමන සමාජ/ආර්ථික තත්ත්වයක පසුවුවත් ශ‍්‍රී ලංකාවේ වෙසෙන සෑම කෙනෙකුටම mCash සේවාවෙන් ප‍්‍රයෝජන ගනිමින් ජංගම මුදල් ගෙවීම් ක‍්‍රමවල පවත්නා පහසුව හා නම්‍යශීලීත්වය භුක්ති විඳීමට අවස්ථාව සලසාදීම මොබිටෙල් සමාගමේ අරමුණයි. ජංගම සන්නිවේදනය ආශ‍්‍රිතව වර්ධනය වෙමින් පවත්නා තාක්ෂණය සහ සමාජ ප‍්‍රතිලාභ යනු සියලු ශ‍්‍රී ලාංකිකයන් විසින් භුක්ති විඳිය යුතු ප‍්‍රතිලාභයක්ය යන දැඩි විශ්වාසයෙන් කටයුතු කරන මොබිටෙල් සමාගම mCash හරහා තව තවත් සේවාවන් සම්පාදනය කිරීමට කටයුතු කර ඇති අතර රට තුළ පවත්නා තම වෙළඳ ජාලය හා සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාවද පුළුල් කර ඇත.

ජාතික විශ්වවිද්‍යාලයක් වන ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු දුරස්ථ ඉගෙනුම් ක‍්‍රමය හරහා සහතික පත්, ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි මෙන්ම ආචාර්ය උපාධිය පවා ලබාගත හැකි අධ්‍යාපන වැඩසටහන් පිරිනමන, ශ‍්‍රී ලංකාව තුළ පවත්නා එකම විශ්වවිද්‍යාලයයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන පහ සහ නාවල පිහිටි ප‍්‍රධාන විශ්වවිද්‍යාල මණ්ඩපය මගින් විවෘත විශ්වවිද්‍යාලය සෑම වසරකදීම සිසුන් දහස් ගණනකට තෘතීය අධ්‍යාපනය ලබාදෙයි.

මොබිටෙල් හෝ එටිසලාට් දුරකථනයකින් #111# ඇමතූවිට mCash සේවාවෙහි ලියාපදිංචි විය හැකිය. මොබිටෙල් සමාගම මෑතක දී ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථම වතාවට තමන් කැමති බැංකු ගිණුමකින් මුදල් රුගෙන ඒ මොහොතේ ම ගෙවීම් කළ හැකි සුරක්ෂිත සේවාවක් සලසා ගැනීම සඳහා මොබිටෙල් mCash පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදෙමින් JustPay© සමගද හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. එපමණක් නොව මොබිටෙල් ශාඛා, SLT ටෙලිෂොප්ස්, සිංගර් මෙගා වෙළඳ සල්, සිංගර් ප‍්‍රදර්ශනාගාර, අබාන්ස් ප‍්‍රදර්ශනාගාර, අමානා බැංකු, සණස සංවර්ධන බැංකුව පීඑල්සී ඇතුළු දිවයින පුරා පිහිටි 16,000කට වැඩි සිල්ලර වෙළඳ ජාලය යොදා ගනිමින් සහ අන්තර්ජාලය ඔස්සේ කොමර්ෂල් බැංකුව, HNB” PABC හා කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වෙමින් තම mCash ගිණුම මුදල්වලින් නැවත පුරවා ගැනීමට ද සිසුන්ට හා දෙමව්පියන්ට දැන් හැකියාව ඇත.