2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

නාම යා්ෙජනා අර්බුදයෙන් පක්ෂවල කෑලි හැලේ

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

 අභයතිස්ස හිමි රතන හිමි ඩඩ්ලි සිරිසේන සාම කපුකමේ  
 සසුනෝදයෙන් පන්සල් දියුණු කරන හැටි අගමැති කියයි  
 ලක්ෂ්මන් යාපාගේ මඟුල් ගෙදර කලකට පසු මහින්ද මෛත්‍රී  
 වීරකුමාරගෙන් විමල්ට දොස්   
• ජීවන වියදම ගැන රිෂාඩ්ට ප්‍රශ්න පිට ප්‍රශ්න 
 ඒකාබද්ධයේ රැස්වීමට පක්ෂ නායකයන් ගණනාවක් නැහැ 
 තමන්ගේ පරම්පරා තුනකටම ගහද්දිත් හොඳ හිතින් සාකච්ඡාවට ගියබව මහින්ද පවසයි

 

පළාත් පාලන මැතිවරණය වසර තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙන් පසු පැවැත්වීමට තීන්දු කර තිබේ. මෙවර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් දක්නට තිබෙන විශේෂම ලක්ෂණය වන්නේ ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ සන්ධාන ලෙස පුංචි ඡන්දයට තරග වැදීමයි. පවතින උණුසුමේ හැටියට පෙනෙන්නේ ගමේ පුංචි ඡන්දය දේශපාලන පක්ෂ විසින් ජාතික මැතිවරණයක් මට්ටමට වවාගෙන ඇති බවයි. ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එ.ජා.ප.ය කලින් සේම පක්ෂ ගණනාවක් සමඟ හවුල් වීමට තීන්දු කළේය. චම්පික රණවක නායකත්වය දෙන ජාතික හෙළ උරුමය රවුෆ් හකීම්ලාගේ මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් නායකත්වය දෙන දෙමළ ඒකාබද්ධ පෙරමුණ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ එ.ජා.ප.ය සමඟ සන්ධානගත වීමට තීන්දු කර ඇත. ඇතැම් ස්ථානවල වෙන වෙනම තරග කිරීම ගැන මුස්ලිම් කොංග්‍රසය හා එ.ජා.ප.ය අතර පසුගිය සතියේ උණුසුම් මතගැටුම් හටගත් බවද සඳහන් විය. මනෝගනේෂන් හා වතුකරයේ පලනි දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් දෙදෙන තමන්ගේ සමීප ඥාතීන් පිරිසකට නාමයෝජනා ලබාගැනීම සඳහා එ.ජා.ප.යෙන් වැඩි ආසන ඉල්ලීම හේතුවෙන් මතගැටුම් හටගත්තේය. අවසානයේ එ.ජා.ප නාමයෝජනා මණ්ඩලය මේ අයට යෝජනා කර ඇත්තේ වතුකරයේ දී එ.ජා.ප.ය සමඟ සන්ධානගතව තරග කරන්නටත් කොළඹ ඇතුළු පිට පළාත්වලදී එම පක්ෂ වෙනම ලැයිස්තු ඉදිරිපත් කරන්නට සතුටු නම් එලෙස ක්‍රියා කරන හැටියටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගතව තරග කිරීමට තීන්දු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය සමඟ සම්බන්ධ වීමට දරන උත්සාහය මෙම සටහන ලියන මොහොත වන විටත් හමාර වී නොතිබිණි. ශ්‍රී.ල.නි.ප.යේ අනුමැතිය ඇතිව ඒ සඳහා අලුතෙන්ම මැදිහත්ව සිටිනුයේ මහා සංඝරත්නය කිහිපනමකි. මේ රජය බලයට පත් කරන්නට මුල් වී ක්‍රියා කළ අතුරලියේ රතන හිමියෝත් සාම ප්‍රයත්නය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකතනයෙන් කතා කළහ. අවසානයේ ගිය පසළොස්වක් පෝදා තංගල්ලේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට රතන හිමියෝ හදිසියේම තංගල්ලේ මහින්දගේ නිවසට වැඩම කළෝය. රතන හිමියන් සමඟ පැවති දේශපාලන ප්‍රශ්න අමතක කොට සුහදව කතාබහ කළ හිටපු ජනපතිවරයාට එහිමියන් යෝජනා කළේ ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු පක්ෂ සමඟ සන්ධානගතව පොදු දේශපාලන බලවේගයක් නිර්මාණය සඳහා මැදිහත් වන හැටියටයි. ජාතික ප්‍රශ්නවලදී ජනාධිපතිවරයා තනි නොකළ යුතු බව රතන හිමි වැඩිදුරටත් කීහ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට ඍජු පිළිතුරක් දුන්නේ නැත. තම කණ්ඩායම අමාරුවෙන් ගොඩනගා ජනමතය සංවිධානය කළ බව කී රාජපක්ෂ මහතා පක්ෂයේ බහුතර මන්ත්‍රී කැමැත්තට තමන් තීන්දුවක් ගන්නා බව සඳහන් කළේය. එවිට රතන හිමියන් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕනෑම සමගි සන්ධාන යෝජනාවක් ගැන කතා කරන්නට කැමැති බවකි. අවශ්‍ය නම් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරමු යැයිද යෝජනා කළේය. එවිට එහි මහ ලේකම් තනතුර දරන්නේ කවුදැයි මහින්ද විමසීය. කෙසේ නමුත් එ.ජා.ප.ය රකින ආණ්ඩුවක් සමඟ සන්ධානගත වීමත් ප්‍රශ්නයක් යැයි හෙතෙම සඳහන් කළේය. (අපි ශ්‍රී ලංකා එක රකින්න සූදානම්. ඒත් එ.ජා.ප.ය රකින්න නම් බැහැ හාමුදුරුවනේ...)මහින්ද කෙළින්ම කීය. කෙසේ හෝ මෙම සාකච්ඡාවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමුගත් රතන හිමියෝ දෙවනුව හමුවෙමු යැයි කියමින් කොළඹ බලා පිටත් වූහ.

ඒකාබද්ධ විපක්ෂය සමඟ පක්ෂ හා සංවිධාන 20 ක් පමණ සන්ධානගත වීමට කැමැත්ත පළ කර ඇතැයි එම පක්ෂය පවසයි. එහෙත් පක්ෂය තුළ නාමයෝජනා සම්බන්ධයෙන් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක්ම දැඩි නොසතුටට පත්ව සිටිති. විමල්ගේ පක්ෂය තුළ හටගෙන තිබෙන අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් එහි නියෝජ්‍ය නායක ලෙස ක්‍රියා කරන වීරකුමාර දිසානායක මහතා පක්ෂයෙන් ඉවත් වන බවට ප්‍රචාරය වී තිබේ. කෙසේ වෙතත් වීරකුමාර මන්ත්‍රීවරයා අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවක් කැඳවා විමල්ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළේය. ඔහු පවසන්නේ මේ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය විය යුතු බවය.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු ජ්‍යෙෂ්ඨයන් නාමයෝජනා සම්බන්ධ ආරවුල් ඇතිකරගෙන සිටින්නේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සමඟය. බැසිල් තමන්ගේ ඉල්ලීම් නොතකා තනි මතයට වැඩ කරන බවට දිනේෂ්ලා චෝදනා කරති. එහෙත් බැසිල් රාජපක්ෂ පාර්ශ්වය පවසන්නේ ඇතැම් පක්ෂ ඔවුනට ලබාදිය නොහැකි තරම් නාමයෝජනා ඉල්ලීම යුක්තිසහගත නොවන බවය.

මේ අයගෙන් දිනේෂ්, ඩලස්, මහින්දානන්ද, බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීන් කිහිපදෙනෙක් මෙම සටහන ලියන මොහොත වන විටත් මෛත්‍රී සමඟ සමගි සන්ධානයකට යා යුතු යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටියෝය. කෙසේ හෝ ඒ ගැන අවසන් තීන්දුව ගනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බව මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම කීය.

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙපක්ෂය අතර සාම කපුකම කිරීමට සිය සහෝදර ඩඩ්ලි සිරිසේන මහතාට උපදෙස් දුන්නේය. ඩඩ්ලි දිගින් දිගටම මේ ගැන ගෝඨාභය සමඟ කතා කළ අතර පසුව ඔහු උත්සාහ කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දුරකතනයෙන් අමතන්නටයි. නමුත් බැසිල් කිසිම අවස්ථාවක ඩඩ්ලිගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දුන්නේ නැත. ඔහු ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තා කළේ ගිය සඳුදාය. මෙම කටයුතු සිදුවෙද්දී ඒකාබද්ධයට තවත් යෝජනා තුනක් (මැතිවරණයට අදාළව) මෛත්‍රී පාර්ශ්වය එවා තිබිණි. එක්ව තරග කිරීම, පොදු සන්ධානයකට එක්වීම හෝ ජයගැනීම දුෂ්කර සභා 95 ක් සඳහා පමණක් එක්ව තරග කිරීම එම යෝජනා තුනයි. ඊටද ඒකාබද්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.

මේ ආකාරයට සමගිය ඈත්වෙද්දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කොටපොළ අමරකිත්ති හිමියන් වෙනමද, ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනමද සාම ප්‍රයත්න දෙකක් දියත් කර තිබිණි. මැදගොඩ හිමියෝ ඒ ගැන කතා කරන්නට මේ සතියේ එක් හැන්දෑවක ජනාධිපතිවරයා මුණගැසුණාහ. එහිදී ජනපතිවරයා උන්වහන්සේලාට දන්වා සිටියේ තමන් මේ ප්‍රශ්න ගැන බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන්නට ඩඩ්ලි සිරිසේනට පැවරුවද බැසිල් ඩඩ්ලිගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදෙන බවය. එවිට මැදගොඩ හිමියන් කියා ඇත්තේ තමන්ගේ දුරකතනයෙන් බැසිල් රාජපක්ෂ මහතාට කතා කොට ඒ හරහා ජනාධිපතිතුමාට සම්බන්ධ කර දිය හැකි බවය. ඊට ජනාධිපතිවරයාගේ අවසරය ලැබුණු විට කලක් තිස්සේ දැඩි ලෙස විරසකව සිටි බැසිල් මෛත්‍රී ජනපතිවරයාට සම්බන්ධ කර දීමට මැදගොඩ හිමියෝ දුරකතන ඇමතුමක් ගත්හ. එම ඇමතුමට බැසිල් පිළිතුරු දෙද්දී  මහත්තයෝ මම ඉන්නෙ ජනාධිපතිතුමා එක්ක එතුමට ඔබතුමාට කතා කරන්න ඕනලු... කියමින් ජනපතිවරයා අතට සිය ජංගම දුරකතනය ලබා දුන්නේය. ඉන්පසු ජනපතිවරයා බැසිල්ට ඉතාමත් සුහදව කතා කළේය. දෙපක්ෂය ඒකාබද්ධව ඡන්දය ඉල්ලීමේ වැදගත්කම ජනාධිපතිවරයා බැසිල්ට පැහැදිලි කළේ සවිස්තරවය. සියල්ලට කිසිදු විරෝධයකින් තොරව සවන් දුන් බැසිල් කීවේ තමන් ඉටුකරන්නේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් තමන්ට පවරන ලද කාර්යභාරය පමණක් බවය. දැන් එම මැතිවරණ සංවිධාන කටයුතු බොහෝදුරට අවසානය කරා ළඟා වී ඇතැයි ජනපතිට කී බැසිල් තමන්ට හෝ හිටපු ජනාධිපතිවරයාට කිසියම් තීන්දුවක් ගත හැක්කේ ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම කීවොත් පමණක් යැයි ද සඳහන් කළේය. තම පක්ෂයට හිතවත් සාමාන්‍ය ඡන්ද දායක බහුතරය එබඳු එක්වීමකට අසතුට ප්‍රකාශ කරන්නේ යැයි ද ජනාධිපතිවරයාට පවසන්නට බැසිල් රාජපක්ෂ මහතා අමතක කළේ නැත.

මෙම සුහද කතාබහේ දී කිසියම් තීරණයකට එළැඹීමට දෙපක්ෂයටම හැකි වූයේ නැත. කෙසේ හෝ ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් සමගිය සඳහා මන්ත්‍රී කණ්ඩායම පොළඹවාගත හැකි බවය.
එ.ජා.ප.යේ නාමයෝජනා කමිටුව වෙත දිවයින පුරා සිටින පාක්ෂික හිතවතුන්ගෙන් ඉල්ලීම් 24,000කට අධික ගණනක් ලැබීම නිසා ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා විය. දිවයිනේ ප්‍රාදේශීය සභා අපේක්ෂක සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් අපේක්ෂකත්වය ඉල්ලීම නිසා අර්බුදය හටගෙන ඇත. හවුල්කාර පක්ෂ ද අපේක්ෂකයන් රැසක් ඉල්ලා සිටීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වී තිබේ. කෙසේ වෙතත් නාමයෝජනා ගැන අන්තිම තීන්දුව ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නාමයෝජනා මණ්ඩලයෙන් සිදුකෙරේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක කරන සසුනෝදය වැඩසටහන මේ සතියේ ආරම්භ කැරිණි. දිවයිනේ වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් පමණ වෙනුවෙන් ආධාර පිරිනැමීමේ වැඩසටහන යටතේ පන්සල් 850කට ආධාර පිරිනැමීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එහිදී කතා කළ අග්‍රාමාත්‍යවරයා ජනතා රජයක් ලෙස වත්මන් ආණ්ඩුව බුදු දහම පෝෂණය කොට රැකගැනීම සඳහා මුල්තැන ලබාදෙන්නේ යැයි කීය. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා මේ සඳහා මුදල් සොයාගත් ආකාරයට පසුගිය ආණ්ඩුවලටත් වුවමනාවක් තිබුණේ නම් ඒ කටයුත්ත කළ හැකිව තිබුණ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ රටේ දැන් පවත්නා අධික භාණ්ඩ මිල ගණන් පිළිබඳවයි. ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද භාණ්ඩ මිල ගණන් ඉහළ යාම ගැන දෝෂාරෝපණ මුඛයෙන් කතා කළහ. අමාත්‍ය චම්පික රණවක ඇතුළු කිහිපදෙනෙක්ම පෙන්වා දුන්නේ රටේ ජීවන වියදම ඉහළ යාමට 60%ක පමණ ප්‍රතිශතයක බලපෑමක් හාල් පොල් මිල විසින් කරන ලද බවය. චම්පික කීවේ පොල් මිල 33%කින්ද සහල් මිල 27%කින්ද ජීවන වියදම නැගීමට බලපෑම් කර ඇතැයි කියාය. ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ද එම කතාවම කීහ. මේ ප්‍රශ්නය වෙළෙඳ ඇමැති රිෂාඩ් දෙසට යොමුවෙද්දී සහල් ආනයනය කර මිල ගණන් අඩු කරන්නට වෙළෙඳ ඇමැතිට අවසර දී ඇතත් එය නිසිලෙස සිදුනොවන්නේ යැයි මංගල චෝදනා මුඛයෙන් කියන විට ඇමැති රිෂාඩ් කීවේ සහල් ගේන්නට ඉල්ලා සිටින මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ලබානොදෙන වගයි. එවිට ප්‍රශ්නයට මැදිහත් වූ ජනාධිපතිවරයා වහා තිබෙන නීතිමය බාධක ඉවත් කොට සහල් ආනයනයට අවසර දෙන්නැයි කීය. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා කරුණු දක්වමින් රටේ භාණ්ඩ මිල පාලනය ඉතාමත් දුර්වල වී ඇතැයි පැවසීය. අනතුරුව පොල් මිල ප්‍රශ්නයට විසඳුමක් ලෙස පිටරටින් පොල් මද ආනයනයට පියවර ගන්නා ලෙස අමාත්‍ය නවීන් දිසානායකට කැබිනට් මණ්ඩලය බලය පැවරීය.

රාජ්‍ය සේවයේ හටගැනෙන වංචා දූෂණ සම්බන්ධව ඊළඟට සාකච්ඡා විය. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ද දිනෙන් දින වංචා දූෂණ ඉහළ යන තත්ත්වයක් ඇතැයි කී විට ඒ ගැන විමසා බැලීමට විශේෂ කමිටුවක් පත් කරමු යැයි ජනාධිපතිවරයා කීය. ඊළඟට ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීම වාරණය කර තිබෙන ක්ෂේත්‍ර නිලධාරීන් කවුද යන්න ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බව අමාත්‍යවරුකීහ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා තමන් ඒ සඳහා චක්‍ර ලේඛනයක් නිකුත් කරන්නේ යැයි පැවසීය.

පසුගිය බදාදා සවස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් පවත්වන ලද තීරණාත්මක රැස්වීම ගැන දේශපාලන අංශවල පුළුල් අවධානය යොමුව තිබිණි. ඊට පෙරදා එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය ගැන පක්ෂ නායකයෝ සාකච්ඡා කළහ. එහිදී හිටපු ජනාධිපති මහින්ද කීවේ, මෙම රජය තමන්ටත් තම පවුලටත් විශාල ලෙස හිරිහැර කර ඇති බවයි. තම පුතුන් දෙදෙනකු හා සහෝදරයකු සිරගත කිරීම, බිරියට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩුපිට නඩු දැමීම, තම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු රිමාන්ඩ් කිරීම වැනි දේ වත්මන් රජය සිදුකළ බව හෙතෙම පෙන්වා දුන්නේය. කිසිම ආණ්ඩුවක් රාජපක්ෂලාට නොසැලකූ විදියට තමන්ගේ පරම්පරා තුනකටම වත්මන් රජය පහර දී ඇති බව මතක් කළ රාජපක්ෂ මහතා එහෙත් එක හීනයෙන් එළිවන්නේ නැතැයි ද මෙම පිරිසට මතක් කළේය. එබඳු හිරිහැරවලට ලක්ව සිටියදීත් තමන් මෛත්‍රීපාල සමඟ සාකච්ඡාවට එකඟ වූයේ වෘත්තීය දේශපාලනය ගැන තිබෙන අත්දැකීම් නිසා යැයි පැවසූ හිටපු ජනපතිවරයා දෙපක්ෂය සන්ධානගත වීමේ අන්තිම තීන්දුව ගත යුත්තේ තමන් නොව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම යැයි කීය.

ඒ අනුව බදාදා සවස 6.00ට ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය. මෙම රැස්වීමට ද විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරැම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන පැමිණ සිටියේ නැත. ඩලස් සිය මාමණ්ඩියගේ මරණය නිසාත් බන්දුල විදේශගත වීම නිසාත් නොපැමිණෙන බව දන්වා තිබිණි. උදය ඒ මොහොතේ දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධ වූ අතර විමල් ගැන තොරතුරක් දැනගන්නට නොලැබිණි. කෙසේ හෝ රැස්වීම ආරම්භයේදීම ප්‍රසන්න රණතුංග සිය පක්ෂය තනිව තරග කළ යුතු යැයි දැඩි ලෙස කරුණු දැක්වීය. පැමිණ සිටි තවත් බොහෝ දෙනෙක් ඒ මතයට පක්ෂ වූහ.

මහින්දානන්ද අලුත්ගමගේ පමණක් සමගියේ අගය පෙන්වා දෙමින් කතා කළේය. දිනේෂ් ගුණවර්ධන පවා අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. අවසානයේ තවදුරටත් සාකච්ඡාවට ඉඩ තබාගෙන ඒකාබද්ධය තනිව පළාත් පාලන ඡන්දය තරග කළ යුතු යැයි තීන්දු කළේය. 

පසුගියදා කොළඹදී විවෘත කරන ලද ෂැංග්‍රිල්ලා හෝටලයේදී රාජ්‍ය  ව්‍යවසාය රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවය සිදුවිය. පසඳ යාපා හා ඔහුගේ මනාලිය වූ ජනාසීගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. බොහෝ කලකට පසු මෛත්‍රී මහින්ද විවාහ මංගල්‍ය  උත්සවයක සාක්ෂිකරුවෝ බවට පත් වූහ. මෙසේ සාක්ෂියට අත්සන් කරද්දී මහින්ද රාජපක්ෂ මහතා විහිළුවෙන් මෙන් කීවේ දැන් මේ ගැන නොදන්න සමහරු කියාවි අපි දෙන්නා ගිවිසුමකට අත්සන් කළා කියලා... යනුවෙනි. ඔහුද මෛත්‍රී මංගල්‍ය උත්සවයේ සාක්ෂිකරුවන් ලෙස පත්වූ මංගල්‍යය සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතින් 50ක් පමණ සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ නාම යෝජනා මණ්ඩලයේ සිටයි. නාම යෝජනා ප්‍රශ්න විසඳන්න දවසම ගතවෙනවා යැයි කී රනිල් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා මනමාලයි වාගේ යැයි විහිළුවක් ද කළේය. කතා නායකවරු ජයසූරිය මහතා ප්‍රමුඛ ප්‍රභූන් රාශියක් උත්සවයට එක්වූහ. 

මෙම උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද හා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර සාකච්ඡාවක් සිදුවිය. “ඈ දයාසිරි ඔයා කියලා තිබුණේ කවුද දෙන්නෙක් මේ දෙපක්ෂය අතර සාකච්ඡා කඩාකප්පල් කරනවය කියලා මහින්ද විමසූ කල වහාම ”ඔව් මම දන්නවා නාමල්ලා ප්‍රසන්නලා එහෙම තැන් තැන්වල විරුද්ධව කතා කරන බව  කියමින් දයාසිරි පිළිතුරු දුන්නේය.

“නාමල් එහෙම කතා කරනවද? එයා එහෙම කතාකරනවනම් ඒක සාධාරණයි... මේගොල්ලො එයා 4 පාරක් හිරේ දැම්මා. එයාගෙ මල්ලිත් හිරේ දැම්මා. බාප්පලා - යාළුවෝ කීයක්නම් හිරේ දැම්මද? ඒ නිසා නාමල් එහෙම කතා කිරීම වැරදිද?” මහින්ද දයාසිරිගෙන් ප්‍රශ්න කළවිට එහෙත් පක්ෂ සමගිය රැකගත යුතුයැයි දයාසිරි නැවතත් කීය. ”සමගිය රකින්න ඕන අපි විතරද? ඔයාගෙ සහෝදරයාට අම්මට කවුරැහරි හිරිහැර කළොත් ඔයා මොකද කරන්නෙ මහින්ද දයාසිරිගෙන් ප්‍රශ්න කළේය... ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා තව මංගල උත්සවයකට පිටත්ව ගිය අතර දයාසිරි අමාත්‍යවරයාට මඟුල් ගෙදර ගීත ගායනයට ආරාධනා ලැබිණි.

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00