2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

කොළඹ, යෝර්ක් වීදියේ මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානයක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත‍්‍රයේ සුවිශේෂී මංසලකුණක් සටහන් කරමින් මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01, යෝර්ක් වීදියේ, අංක 68 දරන ස්ථානයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. මෙය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ ප‍්‍රථම බැංකු මධ්‍යස්ථානයද වේ. එමෙන්ම මෙදින සිය ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් ඉක්මන් හා පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් එක්ස්ප‍්‍රස් බෑන්කින් (Express Banking) සේවාව දියත් කිරීමටද මහජන බැංකුව පියවර ගත්තේය. 

ආරම්භයේදී නව ඩිජිටල් යන්ත‍්‍ර හා පහසුකම් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් මඟපෙන්වීම් සිදුකිරීම සඳහා බැංකු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇති අතර, මේ පිළිබඳව ගනුදෙනුකරුවන් මනා පළපුරුද්දක් ලැබූ පසු ඔවුන්ට සහයෝගයකින් තොරව තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත. 2020 වසර වනවිට වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වෙමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණයේ ප‍්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කරදීම සඳහා මහජන බැංකුව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි වේ.  

මෙම ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, හිටපු විදේශ අමාත්‍ය රවි කරුණානායක, ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,  මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප‍්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්වය,  රජයේ නිලධාරීන්,  බැංකු නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ. 

මෙම නව ඩිජිටල් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ගනුදෙනුකාර අවශ්‍යතා සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවණතා හොඳින් අවබෝධ කරගනිමින් ඒවාට ප‍්‍රතිචාර දැක්වීම නිසා රටේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබාදෙන ආයතනයක් බවට පත්වීමට බැංකුවට හැකියාව ලැබී ඇති බවයි. රටේ විශාලතම ගනුදෙනුකාර පදනමක් සහිත බැංකුව ලෙස, නව ලොව ප‍්‍රවණතා අනුව යමින් ඩිජිටල්කරණයේ පෙරමුණ ගැනීමට අපට හැකිවී තිබෙනවා. මේ ආකාරයට මෙරට ගනුදෙනුකරැවන්ට ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රතිලාභ තිළිණ කිරීම සඳහා ඩිජිටල් මධ්‍යස්ථානයක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. 

නව ඩිජිටල්කරණ මධ්‍යස්ථානය මගින් ලැබෙන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් පැහැදිලි කළ මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත මහතා කුමාර් මහතා. ඩිජිටල් මධ්‍යස්ථානය විවෘත කිරීම මහජන බැංකු ඉතිහාසයේ අභිමානවත් මොහොතක්. දැන් මෙම ශාඛාව වෙත පැමිණෙන ගනුදෙනුකරැවන්ට ‘එක්ස්ප‍්‍රස් බෑන්කින්’ සේවාව භාවිතයෙන් ක්ෂණිකව තම ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව ලැබෙනවා. මේ ඔස්සේ ඔවුන්ට ගිණුමක් විවෘත කළ අවස්ථාවේ පටන් විද්‍යුත් ගිණුම් ප‍්‍රකාශ, SMS Alerts සේවාව, ඩෙබිට් කාඩ්පත්, මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම, ජංගම දුරකථන හා අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ගෙවීම් යන්ත‍්‍ර ඔස්සේ බිල්පත් ගෙවීම ඇතුළු තවත් සේවාවන් රාශියක් ලබාගැනීමේ පහසුව හිමිවේවි. ඒ වගේම ළඟදීම රටේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල වෙසෙන ජනතාවටත් එක්ස්ප‍්‍රස් බෑන්කින් සේවාවන් සමීප කිරීමටත් අප පියවර ගන්නවා.