2017 මාර්තු 18 වන සෙනසුරාදා

සිංගර් 11 වැනි වරටත් මෙරට අංක 01 සන්නාමය බවට පත්වෙයි

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

SLIM-Nielsen ජනතා සම්මානය ඇතුළු සම්මාන 3ක් හිමිකර ගනී

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් අඛණ්ඩව 11 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළෙඳනාමය බවට පත්වෙයි. පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැති SLIM-Nielsen සම්මාන උළෙලේදී මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සිංගර් සමත් විය.

පසුගිය වසරේ සාර්ථකත්වය යළි යළිත් පෙන්නුම් කරමින් මේ වසරේදී ද වසරේ යොවුන් සන්නාමය, වසරේ හොඳම පාරිභෝගික සන්නාමය යන සම්මාන ද්විත්වය ද හිමිකර ගනිමින් 2017 වසරේ ජනප්‍රියතම සන්නාමය සඳහා වන SLIM-Nielsen ජනතා සම්මානයද හිමිකර ගැනීමට සිංගර් සමාගම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) සංවිධානය කළ SLIM-Nielsen සම්මාන උළෙලේදී සන්නාමයන්, පුද්ගලයන්, වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය පිළිබඳව වන ජනප්‍රියතාව විමසා බලා ඒ අතරින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි. මේ සඳහා තනිව ඉදිරිපත් වීමට කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අවස්ථාව නොලැබේ. ජනතා අදහස් විමසීමේදී ජනතාව විසින් නම් කරන ආකාරයට වඩා ජනප්‍රියතම සන්නාමය, පුද්ගලයා, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍යය සහ සිනමා පටය තෝරා ගැනීමට මෙහිදී සිදුකරයි. මේ නිසා මෙම සම්මාන උළෙලේදී සත්‍ය වශයෙන්ම ජනතාවගේ මනසේ රැඳී තිබෙන සන්නාමයන් සහ පුද්ගල නාම මෙන්ම ටෙලිනාට්‍ය සිනමා ආදී අංශවල ජනප්‍රිය නාම තෝරා ගැනීමට අවස්ථාව හිමිවෙයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අහම්බෙන් තෝරාගන්නා ලද වයස අවුරුදු 18ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි සහ කාන්තාවන්ගේ අදහස් විමසීමකින් පසුව තෝරාගන්නා ලද ආයතන සහ සන්නාම වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමෙයි. මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන Nielsen සමීක්ෂණ ආයතනයේ ක්ෂේත්‍ර සමීක්ෂණ නිලධාරීන් විසින් මෙම සමීක්ෂණයන් සිදුකරයි.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය ජනතාවට සිය ස්තූතිය පිරිනමන බවයි. අඛණ්ඩව වසර 11ක් පුරා මෙරට ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව තමන් අතිශය සතුටට පත්වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එයින් පැහැදිලි වන්නේ මෙරට පාරිභෝගිකයා සිංගර් සන්නාමය කෙරෙහි ඇති හෘදයාංගම බව යැයිද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලාංකේය ජනතාව සමඟ සිංගර් නිරන්තයෙන් අත්වැල් බැඳගෙන ඇති බව සඳහන් කළ අසෝක පීරිස් මහතා කියා සිටියේ සමාජ සේවා වැඩසටහන්, ක්‍රීඩාව නැංවීම සඳහා අතහිත දීම ආදී වශයෙන් මෙරට සමාජයේ හිතසුව පිණිස සිංගර් සිදුකරන මෙහෙය අති මහත් බවයි. ඒ පිළිබඳව වන ජනතා පිළිගැනීම මෙවැනි ජයග්‍රහණ තුළින් තහවුරු වන බවද හෙතෙම කියා සිටියේය.

සිංගර් ශ්‍රී ලංකා අනගි ශ්‍රී ලාංකේය නිෂ්පාදන රැසක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට ජනතාව වෙත තිළිණ කරයි. Singer, SISIL, Samsung, Hitachi, TCL, Beko, Sony, Huawei, Dell, Sharp, Mitsubishi සහ තවත් නිෂ්පාදන පෙළක් දිවයින පුරා විහිදුනු 420කට අධික ප්‍රද්ශනාගාර ජාලයක් ඔස්සේ පාරිභෝගිකයා වෙත ගෙන යන අතර ඊට සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක්ද ක්‍රියාත්මක කරයි.