2017 මාර්තු 11 වන සෙනසුරාදා

තලවකැලේ මහජන බැංකුවට පහසුකම් රැසක්

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

නවීන පහසුකම් සහිතව නවීකරණය කළ මහජන බැංකුවේ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කොළඹ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර ඇති අති නවීන තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලුම බැංකු කටයුතු මෙන්ම උකස් සේවා හා විවිධ ණය සේවාවන් ඇතුළු පහසුකම් රැසක් සැලසේ.

මෙහි ස්ථාපිත ස්වයං බැංකුකරණ ඒකකයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) මගින් මුදල් ආපසු ගැනීම, (කාඩ්පත් සහිත/ රහිත) ගිණුම් ශේෂය විමසීම, රහස්‍ය අංකය වෙනස් කිරීම යන සේවාවන් ලබාගත හැක. මුදල් තැන්පතු යන්ත්‍රයෙන් (CDM) මුදල් තැන්පත් කිරීම (කාඩ්පත් සහිත/ රහිත), මුදල් මගින් බිල්පත් ගෙවීම (කාඩ් රහිත) සහ ගිණුම් ශේෂයන් පිරික්සීම සිදුකර ගත හැක. ඒ අනුව ඩයලොග් දුරකථන හා ටීවී බිල්පත්, මොබිටෙල් බිල්පත්, ටෙලිකොම් බිල්පත්, Lanka Bell බිල්පත් (CEB/ LECO) හා ජල බිල්පත් ගෙවිය හැක.
මෙම ශාඛාව මගින් භාෂා ත්‍රිත්වයෙන්ම ගනුදෙනුකාරභවතුන්ට සේවාවන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. ආකර්ෂනීය අභ්‍යන්තර හා බාහිර පරිසරයකින්ද සමන්විත මෙම ශාඛාවේ තවත් විශේෂත්වයක් වනුයේ වැඩි වාහන සංඛ්‍යාවක් නැවැත්වීමට හැකිවන පරිදි වාහන නැවැත්වීමේ පහසුකම් සහිත වීමයි.
තවද, මෙම ශාඛාව ආරක්ෂිතාගාර පහසුකම්වලින්ද සමන්විත වේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර ණය) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකරු ප්‍රසාද් කාරියවසම්, තලවාකැලේ ශාඛා කළමනාකරු ඒ.එම්.ඩබ්. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුෙවෝ විශාල පිරිසක් සහභාගි වූහ.