2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

එමිරේට්ස් බාර්සිලෝනා හරහා මෙක්සිකෝ සිටි දක්වා ගුවන් ගමන් අරඹයි

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

එමිරේට්ස් ගුවන් සමාගම 2019 දෙසැම්බර් 09 වනදා සිට ඩුබායි (DXB) සිට මෙක්සිකෝ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MEX) දක්වා ස්පාඤ්ඤයේ බාර්සලෝනා (BCN) නගරය හරහා දිනපතා නව ගුවන් සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. 

මෙම නව ගුවන් වාරය තුළින් මෙක්සිකෝ සිටි සහ බාර්සිලෝනා නගරය ගුවනින් ඒකාබද්ධ වන අතර මෙම නගර දෙක අතර ඉතාමත් කාර්යක්ෂමව සහ සුව පහසුව ගමන් කිරීමේ අවස්ථාව මගීන්ට හිමිවේ. මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වැසියන්ට මෙම රටවල් අතර ගමන් කිරීමට වීසා අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ගුවන් බලපත‍්‍රය පමණි.  

මෙම නව ගමනාන්තය සඳහා එමිරේට්ස් බෝයින් 777-200LR ගුවන් යානයක් යෙදවීමට සැලසුම් කර ඇති අතර එය ව්‍යාපාරික පන්තියේ ආසන 38 කින් සහ ඉකනොමි පන්තියේ ආසන 264 කින් සමන්විත වේ. මෙම ගුවන් යානය තුළ ටොන් 14 ක ගුවන් භාණ්ඩ රුගෙන යා හැකි අතර මේ තුළින් මෙක්සිකෝවේ අලිගැට පේර, බෙරි හෝ අඹ, වාහන අමතර කොටස් හෝ වෛද්‍ය සැපයුම් ඇතුළු අපනයන කිරීමේ අවස්ථාව හිමිවේ. එමිරේට්ස් ස්කයිකාර්ගෝ 2014 වසරේ සිට මෙක්සිකෝවට සහ ඉන් පිටතට පියාසර කරන අතර පසුගිය වසරේ මෙම ගමනාන්තයෙන් ගුවන් භාණ්ඩ ටොන් 22,500ක් ප‍්‍රවාහනය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති, සර් ටිම් ක්ලාර්ක් මහතා මෙසේ පැවසීය. ‘ඩුබායි සහ මෙක්සිකෝව අතර නව ගුවන් සබඳතාවයක් ඇති කිරීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටු වෙනවා. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික කටයුතු සහ සංස්කෘතික සබඳතා සංවර්ධනය කිරීමට ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු දිනපතා ගුවන් ගමන් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වැඩි වටිනාකමක් තිබෙන ඉතාමත් වේගයෙන් යැවිය යුතු භාණ්ඩ බෝයින් 777 ගුවන් යානය මගින් විශාල වශයෙන් පිටරට යැවිය හැකියි. අප විසින් අලුතින් ප‍්‍රතිසංස්කරණය කළ බෝයින් 777-200LR ගුවන් යානය භාවිතා කර සිදුකරන දිනපතා ගුවන් ගමන් නිසා සංචාරක කර්මාන්තයද වර්ධනය වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.    

‘දිගු කාලීන අවශ්‍යතාවයක්ව තිබූ ඩුබායි, බාර්සිලෝනා, මෙක්සිකෝ සිටි ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා මෙක්සිකෝව විසින් විශාල සහයෝගයක් ලබාදුන්නා. මේ තුළින් පෙනෙන්නේ නව වෙළඳපොළවල් වලට විවෘත වීමටත් මැදපෙරදිග සහ මෙක්සිකෝව අතර සබඳතාවය වර්ධනය කිරීමටත් ඇති මෙක්සිකානු රජයේ ප‍්‍රතිපත්තියයි. මේ අනුව, මෙම කළාපයෙන් සංචාරකයින් පැමිණීම වැඩිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් මෙක්සිකෝවේ සංචාරක අමාත්‍ය මිගෙල් ටොරැකෝ මාක්වේස් මහතා පැවසීය.  

එමිරේට්ස් EK 255 ගුවන් යානය දිනපතා ඩුබායි වේලාවෙන් 03.30 ට ගමන් ආරම්භ කරන අතර බාර්සිලෝනා වලට එරට වේලාවෙන් 08.00 ට ළඟා වේ. යළිත් 09.55 ට බාර්සිලෝනා වලින් ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය එදිනම 16.15 ට මෙක්සිකෝ සිටි වෙත පැමිණේ. යළිත් පැමිණෙන එමිරේට්ස් EK 256 ගුවන් යානය මෙක්සිකෝ සිටි වෙතින් එරට වේලාවෙන් 19.40 ට ගමන් ආරම්භ කරන අතර පසුදා 13.25 ට බාර්සිලෝනා වෙත පැමිණේ. ඉන්පසුව, එදිනම 15.10 ට බාර්සිලෝනා වෙතින් ගමන් අරඹන මෙම ගුවන් යානය පසුදා 00.45 ට ඩුබායි වෙත ළඟාවේ. මෙම ගුවන් ගමන මගින් ඉන්දියාව, ගිනිකොන දිග ආසියාව සහ මැදපෙරදිග රටවලට ගුවන් සබඳතා තර කරයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00