2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

පාසල් දරුවන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව අතදෙයි

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ග‍්‍රාමීය පාසල් සිසුන් විසින් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී නව්‍ය මෙන්ම ප‍්‍රයෝජනවත් පරිගණක අයැදුමක් නිර්මාණය කළ බවත් මේ තුළින් පාසල් සිසුන්ට පරිගණක ප්‍රෝග‍්‍රැමින් විෂය ඉගැන්වීම සඳහා බැංකුව විසින් ප‍්‍රවර්ධනය කරන ව්‍යාපෘතියට මුලදීම දිරිමත් ප‍්‍රවේශයක් ලැබුණු බවත් කොමර්ෂල් බැංකුව වාර්තා කරයි. 

පාසල් සිසුන්ට පරිගණක ප්‍රෝග‍්‍රැමින් විෂය ඉගැන්වීම සඳහා STEMUp අධ්‍යාපන පදනම සමඟ එක්ව කොමර්ෂල් බැංකුව හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ නියමු ව්‍යාපෘතියක් සිදුකළ අතර එහිදී මෙම විද්‍යාලයේ සිසුන් පරිගණක ප්‍රෝග‍්‍රැමින් විෂය පිළිබඳ පදනම් පාඨමාලාවක් හැදෑරීය. 

මෙම පාඨමාලාව BBC micro:bit නැමති සාක්කු ප‍්‍රමාණයේ කේතකරණය කළ හැකි පරිගණකයක සහාය ඇතිව සිදුකළ අතර මෙහි මාලිමා සහ බ්ලූටූත් තාක්ෂණය තිබේ. මෙමගින් සිසුන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වේ. 

මෙහිදී STEMUp පදනම විසින් මෙම පාඨමාලාව අතරතුරදී කේතකරණය පිළිබඳ තරගාවලියක් පැවැත්වූ අතර එමගින් කණ්ඩායම් ලෙස කේතකරණය කළ අයැදුම් නිර්මාණය කිරීමට පාසල් දරුවන් දිරිමත් කරන ලදී. තරග කළ කණ්ඩායම් 05 අතුරින් ජයග‍්‍රාහකයන් තෝරාගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණික උපාධි අපේක්ෂකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත්කළ අතර ජයග‍්‍රාහකයන් තෝරාගත්තේ නව්‍ය වූ අදහස් සලකා බැලීම සහ අයැදුම් භාවිත කිරීමට හැකිවීම යන කරැණු සලකා බලමිනි. 

මෙහිදී ජයග‍්‍රාහී කණ්ඩායම විසින් ජල යන්ත‍්‍රාගාර සඳහා ස්වයංක‍්‍රීය පද්ධතියක් නිර්මාණය කළ අතර මෙම පද්ධතියේදී micro:bit පරිගණකයේ තිබෙන සෙන්සර් මගින් පසේ තෙතමනය පරීක්ෂා කර ජල ටැංකිය වෙත සංඥාවක් යවයි. මෙම සංඥාවෙන් පසුව ටැංකිය විසින් පැළවලට ජලය සපයන අතර පස විසින් අවශ්‍ය ජල ප‍්‍රමාණය අවශෝෂණය කරගත් පසුව ජල සැපයුම අත්හිටවනු ලබයි. මෙම සිසුන් විසින් ළඟදීම මෙම තාක්ෂණය පාසලේ ග‍්‍රීන් හවුස් පහසුකම සඳහා භාවිත කිරීම සඳහා ද සූදානම් වේ.   

මෙහිදී දෙවැනි ස්ථානය දිනාගත් කණ්ඩායම micro:bit පරිගණකය උෂ්ණත්වය කියවන උපකරණයකට පරිවර්තනය කර තිබූ අතර ගොඩනැගිල්ලක ගින්නක් ඇතිවූ අවස්ථාවක මෙම උපකරණය මගින් අදාළ ස්ථානයේ සත්‍ය උෂ්ණත්වය පෙන්වන නිසා ගිනි නිවන හමුදාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ හැකියාව මින් ලැබේ. එසේම මෙම උපකරණය මගින් අදාළ ගින්න නිවිය යුත්තේ ඩ්‍රෝන් මගින් ද, හෙලිකොප්ටර් මගින් ද, අධි පීඩන ජල ප‍්‍රහාර මගින් ද යන්න යෝජනා කරන අතර එය තීරණය වන්නේ ගින්නේ ස්වභාවය අනුවයි.    

කොමර්ෂල් බැංකුව සිස්කෝ නෙට්වර්කිං ඇකඩමිය සමඟ එක්වෙමින් ගුරුවරුන්ට සහ සිසුන්ට IT Essentials පාඨමාලාව නොමිලේ ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන යටතේ මොරටුව විශ්වවිද්‍යාලය තුළ පිහිටි සිස්කෝ නෙට්වර්කිං මධ්‍යස්ථානය තුළදී ගුරැවරැන් වෙනුවෙන් පැවැත්වූ IT Essentials-Instructor සහතික පත‍්‍ර පාඨමාලාව සඳහා ද මෙම ඇකඩමිය විසින් සහයෝගය ලබාදෙන ලදී.  

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00