2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස්හි නවවැනි ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

තම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දුවා දරුවන්ට යහපත් අනාගතයක් උදාකරදීමේ අරමුණින් සංවිධානය කෙරෙන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හා නොමිලේ පාසල් පොත් බෙදා දීම නමවැනි වරටත් පසුගියදා පැවැත්වුණි.

නව්‍යතාවයෙන් පිරුණු මානව සම්පත් විසඳුම් රුසක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානව සම්පත් විසඳුම් සම්පාදකයා වන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් යනු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයකි. තම ව්‍යාපාර භාවිතය තුළ පෙරළා සමාජයට දායකත්වය දැක්වීමත්, එහිලා විශේෂයෙන්ම සේවක මහත්ම මහත්මීන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීමත් එම ආයතනයේ වැදගත් ලක්ෂණයකි. 

එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයත් එහි සේවක සුබසාධක සමිතියත් එක්ව සංවිධානය කරන මෙම වාර්ෂික උත්සවය මෙවර පැවැත්වුණේ හංවැල්ල ලෙෂර් වර්ල්ඩ් පරිශ්‍රයේදීය. ඊට 1,600කට වැඩි සේවක මහත්ම මහත්මීහු හා ඔවුන්ගේ දුවා දරැවෝ සහභාගී වූහ. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙන්ම එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2011 වසරේදී ආරම්භ වූ සිසු දිරිය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අරමුදල් සම්පාදනය කෙරෙන්නේ සේවක සුබසාධන සමිතියේ හා ආයතනයේ මූල්‍ය දායකත්වයෙනි. 

වාර්ෂිකව මෙවන් උත්සවයක් සංවිධානය කිරීමේ අරමුණ වන්නේ සේවක මහත්ම මහත්මීන් දිරිමත් කිරීමත්, ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබාදෙමින් අධ්‍යාපනයට අත්වැලක් සැපයීමත් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ පැවසීය. “අපගේ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම අගය කිරීමත්, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය ඇගයීමත් අපගේ ව්‍යාපාර සංස්කෘතිය තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබෙන දෙයක්. වාර්ෂිකව පැවැත්වෙන ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව වැඩසටහන හරහාත් එය ප්‍රකට වෙනවා. මෙම වැඩසටහන ඉතාම සාර්ථක අයුරින් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ඇතුළු ආයතනයටම ප්‍රශංසා හිමිවිය යුතුයි”.

 “අපගේ පාරිභෝගිකයන්ට පරිපූර්ණ මානව සම්පත් විසඳුම් ලබාදීම එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ අරමුණයි. ඒ වෙනුවෙන් කැපවීමෙන් යුතු දායකත්වයක් ලබාදෙමින් ආයතනය ඉදිරියට ම ගෙනඒම සඳහා කටයුතු කරන සේවක මහත්ම මහත්මීන් හා ඔවුන්ගේ පවුල්වලට කෘතඥතාව දැක්වීම සිසු දිරිය වැඩසටහනෙන් සිදුවෙනවා” යනුවෙන් එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුයුෂන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා පැවසීය.