2019 ජනවාරි 05 වන සෙනසුරාදා

කන් ඇහෙන්න උදව් දෙන ශ්‍රවණාධාර

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 1802

හදිසියේ කන් ඇහෙන්නෙ නැතිව ගියහොත් හෝ එහි දුර්වලතාවයක් ඇති වුවහොත්? එය ඔබගේ දිවියට කෙතරම් බලපෑමක් විය හැකිද? මේ නිසාම මිනිසුන් ශ්‍රවණ ඌනනතාවයන්ට ප්‍රතිකාර සෙවීම සඳහා කලෙක සිට යොමු වූ අතර එහි විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලෙස අද දක්නට ලැබෙන  ශ්‍රවණාධාර උපකරණය නිපදවීම සිදු වුණා. එනිසා ශ්‍රවණ දුර්වලතාවයන් සහිත පුද්ගලයන්ට නව බලාපොරොත්තුවක් ඇති වූවා මෙන්ම ඔවුන්ට යළි ශ්‍රවණය ලබාගැනීමට ද හැකියාව හිමිව තියනවා.

ශ්‍රවන ඌනතාවක් ගැන සැකයක් හිතෙන ඕනෑම අයෙක්ට අද ප්‍රධාන රෝහල්වලින් පරික්ෂාවන් කරගන්නට මෙන්ම ශ්‍රවණාධාර උපකරණ ද නොමිලේ ලබාගත හැකියි. අද වන විට මේ උපකරණ ඉතාමත් දියුණු මට්ටමක පවතියි.

ශ්‍රවණාධාර උපකරණයක් යනු?
ශ්‍රවණාධාර උපකරණයක් යනු ශ්‍රවණ ඌනතාවයන් සහිත පුද්ගලයන් සඳහා ඇසීමට හා සන්නිවේදනය කිරීමට ආධාර වන ලෙස පරිසරයේ ඇති ශබ්ද වැඩිදියුණු කරන්නට සමත් කුඩා විද්‍යුත් මෙවලමක් ලෙස සරලව හඳුනා ගත හැකියි. එම ශ්‍රවණාධාර මගින් ශ්‍රවණ ඌනතා සහිත පුද්ගලයන්ට ඝෝෂාකාරී පරිසරයකදී වුවද ඇසීම ලබා දීමට හැකියාව පවතියි.

මෙම ශ්‍රවණාධාර උපකරණයක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. එනම් මයික්‍රොෆෝනය (microphone), ශබ්ද වර්ධකය (amplifier), හා ශබ්ද වාහිනිය (speaker) වශයෙනි. ශ්‍රවණාධාරක උපකරණයට මයික්‍රොෆෝනය හරහා ශබ්ද ග්‍රහණය කරගෙන යොමු කරන අතර එම ශබ්ද තරංග විද්‍යුත් තරංග බවට පත්කර ඒවා ශබ්ද වර්ධකය වෙත යොමු කෙරෙනවා. එසේම ශබ්ද වර්ධකය මගින් එම ශබ්ද තරංගවල ශක්තිය තවදුරටත් වර්ධනය කරමින් ඒවා ශබ්ද වාහිනිය හරහා කන වෙත යොමු කිරීම සිදු වෙයි. ශ්‍රවණ ස්නායුව මගින් එතැනදි මේ ශබ්ද හඳුනා ගැනෙයි.

ශ්‍රවණාධාර වර්ග
ශ්‍රවණාධාරක උපකරණ, ඒවා පළඳින ආකාරය අනුව ප්‍රධාන ආකාර පහක් හඳුනා ගැනීමට හැකියාව තිබේ. එනම්, කණෙහි පසුපසින් පළඳින ශ්‍රවණාධාර (BTE), කුඩා ප්‍රමාණයේ කනට පසුපසින් පළඳින ශ්‍රවණාධාර (“mini” BTE), කණෙහි ඇතුළත පළඳින ශ්‍රවණාධාර (ITE), ශ්‍රවණ නාලය තුළ පළඳින ශ්‍රවණාධාර (ITC) හා සම්පූර්ණයෙන්ම ශ්‍රවණ නාලය තුළ පළඳින ශ්‍රවණාධාර (CIC) ආදී වශයෙනි.

කණෙහි පසුපසින් පළඳින ශ්‍රවණාධාර (BTE) යනු ප්ලාස්ටික් වැස්මකින් සමන්විත වන කණ පිටුපසට වන්නට පළඳින උපකරණයකි. එය කණෙහි ශ්‍රවණ නාලය තුළ පළඳින අච්චුවක් වැනි කොටසකට නාලයක් හරහා සම්බන්ධ වෙයි. එහි ඉලෙක්ට්‍රොනික උපාංග කණ පිටුපස ඇති ප්ලාස්ටික් වැස්ම තුළ රඳවා ඇත.

“mini BTE ලෙස දැක්වෙන්නේ කනට පසුපසින් පළඳින කුඩා ප්‍රමාණයේ එවැනිම වර්ගයේ ශ්‍රවණාධාරයකි. එසේම කනෙහි ඇතුළත පළඳින ශ්‍රවණාධාර (ITE) වලදී ශ්‍රවණාධාර සම්පූර්ණයෙන්ම පළඳින්නේ කනෙහි ඇතුළත පමණකි. ශ්‍රවණ නාලය තුළ පළඳින ශ්‍රවණාධාර (ITC) කනෙහි ඇතුළත පළඳින ශ්‍රවණාධාරවලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. එයට ද වඩා ප්‍රමාණයෙන් කුඩා ශ්‍රවණ නාලයේ ඇතුළටම වන්නට පළඳින ශ්‍රවණාධාර වර්ගයක් ලෙස සම්පූර්ණයෙන්ම ශ්‍රවණ නාලය තුළ පළඳින ශ්‍රවණාධාර (CIC) හඳුනාගත හැකියි.

මෙම ශ්‍රවණාධාර ක්‍රියාත්මක වන ආකාරය අනුව ද එය ප්‍රධාන ආකාර දෙකකි. මුල් වර්ගය වන්නේ බහුලව දක්නට ලැබෙන ශබ්ද තරංග විද්‍යුත් තරංග බවට පරාවර්තනය කර එම ශබ්ද වර්ධනය කරමින් කන වෙත යොමු කරනු ලබන ශ්‍රවණාධාර හෙවත් (analog)   ශ්‍රවණාධාර යි. මෙම වර්ගයේ ශ්‍රවණාධාර පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුව සීරුමාරු කරමින් සකස් කළ හැකියි. ඒවා ඔහු සිටින පරිසරයට අනුකූලව එනම් ඝෝෂාකාරී හෝ නිෂ්ශබ්ද පරිසරයට අනුව සකසා ගැනීමට ද හැකියි.

අනෙක් ආකාරයේ ශ්‍රවණාධාර වර්ගය වන්නේ ශබ්ද තරංග සංඛ්‍යාත්මක කේත බවට පත් කරන (digital) ශ්‍රවණාධාරයි. ඒවා පරිගණකවල කේතවලට සමාන වෙනවා. ශ්‍රවණාධාරය තුළදී නැවත ඒවා ශබ්ද බවට හරවා අසන්නට සලස්වයි.

මෙම ශ්‍රවණාධාරවලින් ලැබෙන සහාය පුද්ගලයාගේ ශ්‍රවණ ඌනතාවයේ ප්‍රබලතාවය අනුව තීරණය වනවා. වර්තමානය වන විට බොහෝ ඉහළ තාක්ෂණයෙන් යුතු ශ්‍රවණාධාර දකින්නට ලැබෙන අතර ඒවායෙන් ලැබෙන සහය ද ඉහළ තත්ත්වයක පවතිනවා.

- Web MD