2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ලාබෙට ගත හැකි සුපිරි පෝෂණය: කිරි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 905

සිරුරට අවශ්‍ය පෝෂණය සපයන ආහාර සහ පාන වර්ග අතරින් කිරිවලට හිමිවන්නේ වැදගත්ම තැනකි. කිරි සර්වසම්පූර්ණ ආහාරයකි. ඕනෑම වයස් කාණ්ඩයකට අයත් කෙනෙකුට මේ ආහාරය සුදුසු වූවකි. සමහරුන්ට පමණක් ලැක්ටෝස් අසාත්මිකතාවය හටගනියි. නමුත් එයද පාලනය කළ හැකි තත්ත්වයකි. සිරුරට පූර්ණ පෝෂණය ලබාදෙන ආහාරයක් හැටියට කිරි භාවිත කළ හැකි ආකාරය සහ කිරිවල ගුණාත්මකභාවය ගැනයි, මේ.

කිරිවල අඩංගු පෝෂක
විටමින්

කිරිවල සැලකිය යුතු ප්‍රමාණයක් විටමින් බී සංකීර්ණයට අයත් විටමින් අඩංගු වේ. විශේෂයෙන් කිරිවල අඩංගු බී12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයටද වැදගත් වේ. සම්පූර්ණ යොදය සහිත කිරි, විටමින් ඒ වලින් පොහොසත් අතර, මේද රහිත හෝ අඩු මේද කිරිවල විටමින් ඒ අන්තර්ගතය ඉතා අල්පය. මේද රහිත හෝ අඩු මේද කිරිවල මේදයේ දියවන විටමින් අන්තර්ගතය. ඉතා අඩු වුවත් නැවත එකතු කිරීම හෝ බලකරණය තුළින් මෙම විටමින් නැවත ආහාරයට එකතු කළ හැකිය.

ඛනිජ ලවණ
කැල්සියම් හා පොස්පරස් බහුල ආහාරයක් වන කිරි, අස්ථි සහ දත් වර්ධනයට වැදගත් වේ. කිරිවල අඩංගු කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය හා මේද රහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය එක සමානය. ජීවිතයේ පසු කාලයේදී වැළඳිය හැකි ඔස්ටියෝපොරෝසිස් නැමති අස්ථි තුනීවීමේ රෝගය වළක්වාගැනීම සඳහා දිනපතා කිරි හෝ කිරි ආහාර පරිභෝජනයට ගැනීම යෝග්‍යය.

මේදය
දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම සඳහා කිරිවල අඩංගු මේදය දායක වෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංතෘප්ත මේදය බහුලය. එහෙත් මේද රහිත කිරිවල මේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, අඩු මේද සහිත කිරිවල මේදය හරි අඩකටත් වඩා අඩුවෙන් අඩංගු වේ. මේද රහිත කිරි වැඩිහිටියන්ට, අධිබරුති දරුවන්ට හා රුධිරවාහිනී අවහිරතා රෝග ඇති අයට වඩා යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ කිරිවල ඇති මේදය රුධිරවාහිනීවල තැන්පත් වීමයි. මේදය අඩු කිරිවල අඩංගු ශක්ති ප්‍රමාණය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේදයේ දියවන විටමින් වර්ග අඩු බැවින් කිරිපිටි නිර්දේශ කරන අවස්ථාවලදී, අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා මේද රහිත කිරි භාවිතය සුදුසු නොවේ.

සීනි
කිරිවල අඩංගු සීනි ‘ලැක්ටෝස්’ ලෙස නම් කරයි. කිරිවල අඩංගු ලැක්ටෝස් එදිනෙදා භාවිතයට ගැනෙන සුදු හා දුඹුරු සීනි මෙන් දත් දිරායාම කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරයි.

කිරි ආහාර
මුදවපු කිරි

මුදවපු කිරි හා යෝගට් ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කරන කිරි ආහාර වේ. යෝගට් හා මුදවපු කිරි නිෂ්පාදනයේදී කිරි පැසවීමකට ලක් කරයි. එමගින් එහි විටමින් බී සංයුතිය ඉහළ යයි. මුදවපු කිරි හා යෝගට්වල ඇති ඉහළ ප්‍රෝටීන් සංයුතිය, එහි ඇති කැල්සියම් ශරීරයට අවශෝෂණය කිරීම කාර්යක්ෂම කරයි. මීකිරි මේදයෙන් ඉහළය. එබැවින් එළකිරිවලින් සාදන ලද මුදවපු කිරිවලට වඩා මීකිරිවලින් සාදන ලද මුදවපු කිරි හොඳින් ඝන වේ.

යෝගට්

යෝගට් නිෂ්පාදනයට යොදාගන්නා බැක්ටීරියාවන් මිනිසාට සෞඛ්‍යමය හිතකර ප්‍රතිලාභ ලබාදෙයි. සමහර යෝගට් වර්ග නිෂ්පාදනයේදී හිතකර බැක්ටීරියා (ප්‍රෝබයෝටික්ස්) වර්ග එකතු කරයි. එය ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උදව් කරයි.

චීස්
චීස්, කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එහෙත් චීස්වල සංතෘප්ත මේදය සහ එකතු කරන ලද ලුණු ඉහළ මට්ටමක පවතී. එම නිසා සම්පූර්ණ යොදය අඩංගු චීස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.

ඔස්ටියෝපොරෝසිස්
දීර්ඝ කාලයක සිට අස්ථි තුනීවීම සහ අස්ථි ඝණත්වය අඩුවීම නිසා අස්ථි බිඳීයාමේ තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හඳුන්වයි. කුඩා කල සිට කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම මගින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකිය.

ලැත්ටෝස් ආසාත්මිකතාව
කිරි විශාල ප්‍රමාණයක් (කිරි මිලිලීටර් 500 හෝ ඊට වැඩි ප්‍රමාණයක්) එකවර පානය කිරීම නිසා පාචනය, බඩපිපුම වැනි උදරයේ ආසාත්මිකතාවයන් සමහර පුද්ගලයන්ට ඇතිවිය හැක. මෙය ලැක්ටෝස් ආසාත්මිකතාවය ලෙස හඳුන්වයි. එවැනි පුද්ගලයන්, කිරි භාවිතයේදී එය ස්වල්ප ප්‍රමාණයක් (වීදුරු ¼) බැගින් මුලින් ගෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිකළ යුතුය. මුදවපු කිරි හා යෝගට්වල අඩංගු ලැක්ටෝස් පැසවීමේදී ලැක්ටික් අම්ලය බවට පත්වේ. එම නිසා ලැක්ටෝස් ආසාත්මිකතාව ඇති අයට මෙවැනි ආහාර වඩා සුදුසුය. ආහාර වේලකින් පසු කිරි ස්වල්ප ප්‍රමාණයක් පානය කිරීම හෝ යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මගින් මෙම තත්ත්වය පාලනය කරගත හැක. තවද කිරිවල අඩංගු ප්‍රෝටීන සඳහා ආසාත්මිකතාව දක්වන අයට සෝයා කිරි යෝග්‍ය වේ.

අප විසින් දිනකට පරිභෝජනය කළ යුතු කිරි ප්‍රමාණය
නැවුම් කිරි පීරිසි කෝප්ප/ වීදුරු 1ක් (මිලිලීටර් 200), මුදවපු කිරි පීරිසි කෝප්ප 1ක් (මිලිලීටර් 100) හෝ යෝගට් 1 ක්පි ටිකිරි මේස හැඳි 2ක් යොදා සාදන ලද කිරි

වීදුරු 1ක්
ඉහත සඳහන් කිරි හෝ කිරි ආහාරවලින් 1ක් හෝ 2ක් දිනපතා ගැනීම ඕනෑම අයකුට සුදුසු වේ. එහෙත් ළමුන්, යොවුන් වියේ පසුවන්නන්, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය ඉහළ බැවින්, කිරි හෝ කිරි ආහාර දෙකක් දිනපතා ගැනීම සුදුසු වේ.

සෞඛ්‍ය පෝෂණ තොරතුරු