2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

නහින දෙහින කාලෙට පෙර ඇටකටු ෆිට්ද බලමු!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 318

වයස අවුරුදු 35 පමණ ඉක්මවූ පසු සැම කාන්තාවකම වාගේ පියයුරු සහ ගැබ්ගෙල මෙන්ම අස්ථිවල ධාරිතාවය මනින මෙම පරීක්ෂණයකට ද පෙනී සිටීම ඉතා වැදගත්ය.  මෙය අස්ථිවල සවිමත් බව මැනීමට කළ හැකි සරලතම පරීක්ෂණයකි. ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් මෙන්ම වයස 70ට වැඩි පිරිමින් මේ පරික්ෂණය කරගැනීම වැදගත්ය. මෙය යන්ත්‍රයක් මගින් කෙරෙන පරික්ෂාවකි. එමගින් ඔබේ උකුල සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත අස්ථිවල හෝ වෙනත් ස්ථානවල ඇති අස්ථීන්ගේ ඛණිජ ලවණ ධාරිතාව මැන බැලීම සිදු කරයි.

පරීක්ෂණයේ ප‍්‍රතිඵල ඔබටම අවබෝධ කරගත හැකියි. එම ප්‍රතිඵල ටී අගය හා ඉසෙඩ් අගය යනුවෙන් ආකාර දෙකකට දක්වයි. එයින් ටී අගය (T-score) මගින් කෙරෙන්නෙ  කෙනකුගේ අස්ථි ධාරිතාවය උපරිමව පවතින වයසේදී එනම් අවුරැදු 30 – 35 වයසේ  පවතින ධාරිතාවය හා වර්තමානයේදී පවතින ධාරිතාව සසඳා බැලීමයි.

ටී අගය  සෘණ – 2.5 ට අඩු නම් අස්ථිවල ඝනත්වය ඉතා අඩුයි. එනම් අස්ථි දුර්වලවීමේ අවදානමක් පෙන්වයි.

අගය සෘණ  – 1 සහ සෘණ – 2.5 අතර වූ විට අස්ථිවල ඝනත්වය අඩුයි. අස්ථි දුර්වල වෙමින් පවතියි.

ටී අගය සෘණ – 1 සහ  ධන +1 අතර නම් අස්ථි ඝනත්වය හොඳයි. එනම් අස්ථි නිරෝගීයි.

ටී අගය ධන +1 ට වැඩි නම් අස්ථි ඝනත්වය ඉතා හොඳයි. එනම් අස්ථි ඉතා නීරෝගියි.

ටී අගය අඩු නම් කුමක් කළ යුතුද?

ටී අගය සෘණ – 2.5 ට අඩු නම් ඔබේ අස්ථි දුර්වල වී සිහින් වී ඇත. වහ වහා ඔබේ ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කර ගැනීමට පියවර නොගතහොත් ඔස්ටියෝපොරොසිස් රෝගයේ ගොදුරක් බවට ඔබ පහසුවෙන්ම පත්වනු ඇත. නොකඩවා ව්‍යායාම කරන්න. අඩු වශයෙන් දිනකට කිලෝමීටරයක් පමණ ඇවිද යා යුතුය. වෙනත් ව්‍යායාමක වුවද නිරත විය හැකිය.

මැග්නීසියම්, කැල්සියම් වැනි පෝෂකයන් උරා ගැනීම සඳහා අස්ථිවලට හොඳ රුධිර සංසරණයක් අවශ්‍ය වේ. යහපත් රුධිර සංසරණයක් සිදුවීමට නම් ව්‍යායාම කළ යුතුයි. අස්ථිවල නීරෝගි පැවැත්මට අස්ථිවලට බර දැනෙන ව්‍යායාම කළ යුතුය.

බිත්තර, කිරි, කිරි නිෂ්පාදන, පලා වර්ග, කුඩා මාළු වැනි කැල්සියම් අධිකව අඩංගු ආහාර පාන ඇති තරම් ගත යුතුය. ටී අගය බෙහෙවින්ම අඩු අයට වෛද්‍යවරුන් විටමින් ඖෂධ ලබාදිමට පියවර ගනී.

කිරි පානය කිරීමේදී තේ හෝ කෝපි සමඟ මිශ‍්‍ර නොකර කිරි පමණක් පානය කරන්න. කිරි තේ හෝ කෝපි සමඟ මිශ‍්‍ර වීම කැල්සියම් අවශෝෂණයට බාධාවකි. ටී අගය – 2.5 ට අඩු අයෙක් වාර්ෂිකව අස්ථි පරීක්ෂණයකට පෙනී සිටීම ඉතා වැදගත්ය.

- සුගත්