2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ලෙඩ නැතිව ඉන්න නිවැරදිව කන්නේ මෙහෙමයි...

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 992

නිරෝගී ජීවිතයක් ගත කිරීමේදී ඉතාමත් වැදගත් වන සාධකයක් වන්නේ සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් සැමවිටම ගැනීමයි. නිරෝගී ආහාර වේලක් කියන්නේ සමබල ආහාර වේලකි. එය රස සහ ගුණය අතින්ද විවිධ විය යුතුය. ඒ වගේම විවිධ වර්ණ සහ සුවඳින් යුතු විය යුතුය. මේ ආහාර ලබාගත යුතු ප්‍රමාණයන් ගැනද සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.

මේ නිසාම නිරෝගී ජීවිතයකට අවශ්‍ය සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් තෝරාගන්නා ආකාරය ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමට අපි මේ ලිපියෙන් උත්සාහ කරමු.

සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් තෝරාගන්නේ කෙසේද?

ඔබට නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබාගැනීමට අවශ්‍ය ආහාර, කාණ්ඩ හයකට බෙදා ඇත. එක් එක් ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබාදෙයි. දිනපතා විවිධ වර්ගයේ ආහාර නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ඔබගේ ආහාරයෙහි අඩංගු කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීමට හැකිය.

ආහාර කාණ්ඩ

1. ධාන්‍ය සහ අල බතල

බත්, තිරිඟු, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි, හාල් පිටි හා තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන (පාන්, ඉඳිආප්ප, රොටි, පිට්ටු)

අල - බතල, මයියොක්කා, ඉන්නල, කිරිඅල, අර්තාපල් 

පිෂ්ටය අඩංගු ඵල - කොස්, දෙල්

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙයි.

2. පලතුරු

කෙසෙල්, අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර සහ වෙනත් පලතුරු

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩරෝගවලින් ආරක්ෂා කරයි.

3. එළවළු

කොළ එළවළු - කංකුං, නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, සාරන, කතුරැමුරුංගා හා මුරැංගා කොළ ඇතුළු වෙනත් පලා වර්ග.

ගෙඩි හා අල සහිත එළවළු - පතෝල, වම්බටු, අලුකෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි, කැරට්, රතුඅල, වැටකොළු, කරවිල යනාදිය.

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩරෝගවලින් ආරක්ෂා කරයි.

4. මාළු, මස්, බිත්තර, පියලි හා 

ඇට වර්ග

මාළු වර්ග - මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, ඉස්සන්, කකුළුවන්

මස් වර්ග - කුකුළු මස්, හරක් මස්, ඌරැ මස්, එළු මස් හා සත්ත්ව අක්මා ආදී ඉන්ද්‍රියන්

බිත්තර - කිකිළි, තාරා හා වටු බිත්තර

පියලි හා ඇට වර්ග - කඩල, මුං, කව්පි, සෝයා, උළුඳු, කොල්ලු, පරිප්පු හා බෝංචි

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරය වර්ධනයත් අලුත්වැඩියාවත් සිදුකරයි.

5. කිරි හා කිරි නිෂ්පාදන

කිරි, මුදවපු කිරි, යෝගට්, චීස්

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දත් සහ අස්ථි වර්ධනයත්, අලුත්වැඩියාවත් සිදුකරයි.

6. තෙල් බහුල ඇට සහ බීජ වර්ග

පොල්, කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට

පොල්කිරි, පොල්තෙල්, තලතෙල්, පාම්තෙල්, එළවළු තෙල්

බටර්, මාගරින්, මේද තැවරැම් හා ගිතෙල්

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික ක්‍රියාවන් සඳහා අවශ්‍ය ශක්තිය සපයයි. ශරීරයේ වර්ධනය හා විවිධ පරිවෘත්තීය ක්‍රියා ඉටුකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ආහාර ගැනීමේ අගනා පිළිවෙත

ඉහත සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න. ආහාර කාණ්ඩ එකකින් හෝ දෙකකින් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට වඩා සෑම කාණ්ඩයකටම අයත් ආහාරවලින් නියමිත ප්‍රමාණයන් ගැනීම වැදගත්ය. මෙමගින් සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට දිනපතා ලැබෙන බවට තහවුරු වේ.

එක් ආහාර කාණ්ඩයකින් කොතරම් ප්‍රමාණයක් ආහාරයට ගත යුතුද?

සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගත යුතු අතර, එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීරයේ ප්‍රමාණය, ක්‍රියාකාරී මට්ටම, ජීවන චක්‍රයේ විවිධ අවස්ථා සහ වැළඳී ඇති රෝගී තත්ත්ව මත රඳා පවතී.

මෙම ආහාර කාණ්ඩවලින්, ධාන්‍ය, එළවළු සහ පළතුරැ වැඩි ප්‍රමාණයකින්ද තෙල් හා මේද අඩු ප්‍රමාණයකින්ද ආහාරයට එක්කර ගත යුතු අතර, ආහාර පිරමීඩය මගින් ඔබට දිනපතා ආහාරයට එකතු කරගත යුතු ආහාර ප්‍රමාණයන් පිළිබඳව දළ අදහසක් ලබාගත හැක.

 Health/ Nutrition News

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00