2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

දියවැඩියාව, කොලොස්ටරෝල්, පිළිකා, හෘද රෝග නසන මුං ඇට

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1825

මුංඇට ආහාරයට ගැනීම තුළින් ළඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොමයි. ශාකමය ප්‍රෝටීන ප්‍රභවයක් සොයන්නෙකුට පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාරයක් ලෙස සැලකෙන රනිල භෝග අතරින් මුංඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මුංඇට එදිනෙදා ආහාරයක් ලෙස පැරුන්නන් මෙන්ම වර්තමාන පෝෂණවේදීන් අතරත් ජනප්‍රියව ඇත්තේ එහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය හා ප්‍රණීත බව නිසාම පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය විවිධාකාර වාසි රැසක් මේවා ආහාරයට ගන්නාට අත්වෙනවා. මේවා අත්කර දීමට එහි ඇති ප්‍රතිඔක්සිකාරක හා විෂබීජ නාශක ගුණ වැනි දේත් ඉවහල් වෙනවා. 

මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙහි කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද, තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගත වෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හි මුංඇටවල විටමින් ‘බී‘ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ,සී,ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි. එමෙන්ම මුංඇටවල කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණත් අන්තර්ගත වෙනවා. මුංඇට ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ශරීරයට දෛනිකව අවශ්‍යය විටමින් ඒ වලින් 2%ක් ද, විටමින් සී වලින් 8%ක් ද කැල්සියම්වලින් 13%ක් හා යකඩවලින් 37%ක් ද ලබාගත හැකි අතර එමඟින් සෝඩියම් මිලිග්‍රෑම් 15ක් හා පොටෑසියම් මිලිග්‍රෑම් 1246ක් ශරීරයට ලැබෙනවා.

දියවැඩියා අවදානම අඩු කිරීම

දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ හැකියාව මුංඇට ආහාරයට ගැනීමෙන් අඩු වන අතර ශරීරයේ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මුංඇට ආහාරයට ගැනීම මඟින් රැධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා.

කොලෙස්ටරෝල් මට්ටම හා හෘද රෝග අවදානම අඩු කිරීම

මේවා ආහාරයට ගැනීම තුළින් රැධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා. මීට අමතරව ප්‍රදාහ තත්ත්ව ඇති වීමත් වළකින අතර රැධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා. රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවදානමත් අඩුවෙනවා.

පිළිකා අවදානම නෑ

මුංඇට ආහාරයට ගන්නා අයට එහි අඩංගු ඇමයිනෝ අම්ල, ඔලිගොසැකරයිඩ හා පොලිෆීනොල නිසා ශරීරයේ ගැටිති ඇතිවීම මෙන්ම පිළිකා ඇතිවීමටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව  ලැබෙනවා. මීට අමතරව ඩී.එන්.ඒ. දාමවල හානි ඇතිවීම හා විකෘති වීම වැළකෙනවා.

ශරීරයේ බර  බහියි

මුංඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත්විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම නැවතෙනවා. මීට අමතරව මෙහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය නිසාත් මුංඇට සුළු ප්‍රමාණයකින් තෘප්තිමත් වන්නට ඒවා ආහාරයට ගන්නන්ට පුළුවන්. එමෙන්ම මුංඇට රනිල භෝග අතරින් පහසුවෙන්ම දිරවාගත හැකි රනිල භෝගය නිසා බඩ පුරවා දැමීම් වැනි තත්ත්ව ඇති වන්නේත් ඉතා කලාතුරකින්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම

මුංඇටවල අඩංගු ශාක පෝෂක රාශිය විෂබීජ නාශක ගුණය සිරැරට ලබාදෙනවා. මෙමඟින් ශරීරයට වැඩි ප්‍රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න උදරයක් ලබාදෙනවා. මේ නිසා අනෙකුත් ආහාරවල පෝෂකත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වෙනවා.

සමෙහි සෞඛ්‍යය ඔප්නැංවීම 

වඩා තරැණ සෞඛ්‍යමත් සමක් ප්‍රතිඵල කරන්නට මුංඇටවල අඩංගු ශාක පෝෂක මගින් ශරීරයේ කොලැජන්, ඉලාස්ටින්, හයලුරොනික් අම්ලය වැනි දේ නිපදවීම උත්තේජනය කරනවා.  

විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස

මුලින් කීවාක් මෙන්ම ශාකමය ප්‍රෝටීන ප්‍රභව සොයන කායවර්ධක ක්‍රීඩකයින්, ගිලන්ව සිටින්නන් වැනි අයට ඉතා සුදුසු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මුංඇට ඉහළින්ම තිබෙනවා. මුංඇටවල ඉහළ ග්ලොබියුලින් හා ඇල්බියුමින් ප්‍රතිශතයක් අඩංගුයි. එමෙන්ම මුංඇට මඟින් ලෙයුසීන්, අයිසොලෙයුසීන්, වැලීන් වැනි ඇමයිනෝ අම්ලත් යහමින් ශරීරයට ලැබෙනවා.